27 C
Colombo
26/11/2024

හොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රජයේ බාරයට

Share with your friends :

බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා පැවැසීය.

මින් සීනි ටොන් තිස් දහසක් සතොස සහ සමුපකාරවලට ඊයේ (1) බෙදා හැරි බවද හෙතෙම සඳහන් කළේ‍ය.

එම ආයතනවලට බෙදා හැර ඉතිරි වෙන සීනි තොග මහජනතාවට අලෙවි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල්වලට ලබාදෙන බව පැවසූ නිවුන්හැල්ල මහතා රටපුරා සඟවා ඇති සීනි, සහල් සහ වී තොග සොයා ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයිද කීවේය.

ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටින අවස්ථාවක මෙලෙස ආහාර තොග සැඟවීම බරපතළ වරදක් බවත් එසේ ආහාර සඟවන්නන්ට තමාගෙන් කිසිම සමාවක් නොලැබෙන බවත් නිවුන්හැල්ල මහතා පැවසුවේය.

මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සිදුව ,කැලණිය වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත සහ රහිත ගබඩා පහක තිබියදීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට පසුව මුද්‍රා තබනු ලැබීය.

මෙම ගබඩා හිමියන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇතැයිද එම සීනි අයත් ව්‍යාපාරිකයන්ට පසුව ඔවුන්ගේ වියදම් වලට සරිලන පරිදි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේ යැයිද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

සහල්, වී සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම අධික මිල ගණන්වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසිද පනවනු ලැබීය.

Share with your friends :