එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස 5 ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙයි.
සැප්තැම්බර් 6 වැනිදා පක්ෂයේ 75 වන සංවත්සරය යෙදෙන අතර ඒ නිමිත්තෙන් මෙම සැමරුම් උත්සවය සංවිධාන කරයි.
පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ෆේස්බුක්,සූම් ,යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
“ජ්‍යෙෂ්ඨ ඉතිහාසයක් ශ්‍රේෂ්ඨ අනාගතයක්” යන්න මෙවර එජාප සංවත්සරයේ තේමාවයි.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ප්රමුඛ පක්ෂයේ අාදි නායකයන් වන ඩඩ්ලි සේනානයක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මහත්වරුන් සිහිපත් කිරීමෙන් අනතුරුව වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරමින් සංවත්සර උත්සවය ඇමතීමට නියමිතව ඇත.
“ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව යන සිව් වැදෑරුම් කරුණු පදනම් කරගෙන රට ගොඩනගන ජාතික සැලැස්ම රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එළිදක්වන බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සඳහන් කරයි.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන ,උපනායක අකිල විරාජ් කාරියවසම්,මහත්වරු ප්රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ මෙම අවස්ථාවට සහභාගී වෙති.