මෙතෙක් හඳුනාගත් කොවිඩ් ප්‍රභේද අතුරින් වැඩිම විකෘතිතා දක්නට ලැබෙන ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් බව එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය තහවුරු කර තිබේ.
සී පොයින්ට් වන් පොයින්ට් ටූ ලෙස හැඳින්වෙන නව ප්‍රභේදය යුරෝපා සහ ආසියානු කලාපවලටත් ව්‍යාප්තව ඇති බව වාර්තා වෙයි.
මෙම නව කොවිඩ් ප්‍රභේදය ඉකුත් මැයි මස දී මුල්වරට හඳුනාගෙන ඇත්තේ එරට තුන්වැනි රැල්ල අතරතුරදී ය.
එය මෙතෙක් වැඩිම විකෘතිවලට ලක්වූ කොවිඩ් ප්‍රභේදය බවට දකුණු අප්‍රිකානු බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය පෙන්වා දෙයි.
එය එරට ප්‍රාන්ත කිහිපයකටත් යුරෝපා සහ ආසියා මහද්වීපවල මෙන්ම ඕෂනියා කලාපයේ රටවල් 7කටත් ව්‍යාප්ත වී ඇතැයි හඳුනාගෙන තිබේ.
නව ප්‍රභේදය, පළමු කොවිඩ් රැල්ලේදී එරට පුරා ව්‍යාප්ත වූ සී පොයින්ට් වන් කොවිඩ් ප්‍රභේදයෙන් ඇතිවූවක් ලෙස සැලකෙයි.
එය සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් බවට පත්වීමේ සම්භාවිතාවක් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළගොස් ඇත්තේ වෛරසය සමග ජීවත්වීම ආරම්භකළ යුතුද යන්න පිළිබඳ එරට තුළ විවාදයක් මතුව තිබියදී ය.
අද එරටින් නව ආසාදිතයන් 1,368 දෙනෙක් හඳුනාගෙන තිබුණි.
ඒ අතරින් 1,218 දෙනෙකුම වාර්තා වූයේ රටේ වසංගත ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.
අද වාර්තා වූ කොවිඩ් මරණ 4ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගියේය.
වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් කාලසීමාව එළඹෙන බ්රහස්පතින්දායින් අවසන්වීමට නියමිතව තිබුණත් එය තවදුරටත් දීර්ඝකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර, ෆයිසර් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සියලුදෙනාට තුන්වන මාත්‍රාවක් ලබාදෙන බව ඊශ්‍රායලය ඊයේ (29) නිවේදනය කළේය.
ඒ අනුව වයස අවුරුදු 12 ඉක්මවූ සහ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 5ක් ගතවී ඇති සෑම වැසියෙකුටම එය හිමිවෙයි.