27 C
Colombo
02/02/2025

කොවිඩ් මරණ සහ ආසාදිතයින් පාලනය කරන අයුරු දයාසිරි කියයි

Share with your friends :

යම් කිසි කාලයකට රට වැසීම හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදුකළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාමේ චක්‍රය පාලනය කරගැනීමට හැකිවන නිසා ඒ ගැන සාධනීයව කල්පනා කර බලන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ අවස්ථාවේ රටේ වෛද්‍ය විශේෂඥයින්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ද ඉල්ලීම වී ඇත්තේ වසංගතය පාලනයට සති දෙකකට හෝ තුනකට රට වසා දැමීම නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බලධාරීන්ගේ උපදෙස් අනුව නිසි තීරණයක් ගැනීම සුදුසු බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

රටේ පවතින ආර්ථික තත්වය අනුව එය අසීරු කරුණක් බව තමන් පිළිගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අවස්ථාවේ එන්නත්කරණය වේගවත්ව සිදුකිරීම හොඳ වුවත් එය මීට වඩා ක්‍රමානුකූල විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එන්නත්කරණය සිදුවන ස්ථානවල විශාල වශයෙන් පිරිස් ඒකරාශීවීම ද වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බව ප්‍රකාශ කළේය.

රට වසාදැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ග ගත යුත්තේ දේශපාලනඥයින් නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් අනුව බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයා මේ අවස්ථාවේ සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා ඇතැයි කී ජයසේකර මහතා ඒ සඳහා වෛද්‍ය හා ආර්ථික විශේෂඥයින් ද කැඳවා ඔවුන්ගේ අදහස් ලබාගැනීමද වැදගත් බව සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය ජයගෙන මීට වඩා ශක්තිමත්ව ගොඩ නැගීමට නම් සියලු දේශපාලන පක්‍ෂවල මතය වැදගත් වන අතර මේ අවස්ථාවේ වෛද්‍ය අදහස් අනුව ක්‍රියා කිරීමද වැදගත් බව හෙතෙම පැවසීය.

Share with your friends :