27 C
Colombo
24/11/2024

මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් බුද්ධ ශාසන ලේකම්ට ලිපියක්

Share with your friends :

රටේ කොරෝනා වසංගත තත්වයක් පවතිද්දී ත්‍රිපිටක සංරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරන බව මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

එබැවින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී තෙදිනක් පුරා පැවැත්වීමට යන මෙම විද්වත් සභාවට මල්වතු, අස්ගිරි පාර්ශවයන් නියෝජනය කරමින් කිසිවකුත් සහභාගී නොවන බව මහ නා හිමිවරුන් ලේකම්වරයාට දැනුම් දී ඇත.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර ඇත.

යෝජිත ත්‍රිපිටක සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ නිර්දේශ ලබාගැනීම සඳහා 5, 6 සහ 7 දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම විද්වත් සභාව පවත්වන බැවින් එයට සහභාගී වන ලෙස තමන් වහන්සේලාට ආරාධනා කර ඇති බවත් මෙය එවැන්නක් පැවැත්වීමට සුදුසු අවස්ථාව නොවන නිසා ඊට සහභාගී නොවන බවත් මහ නා හිමිපාණන් වහන්සේලා පවසති.

අදාළ විශාරදයන් සමඟ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව මෙම පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙනඒමට අපේක්‍ෂා කරන බැවින් මෙය කඩිනමින් සම්මත කිරීමට කටයුතු කිරීම උචිත නොවන බව ද උන්වහන්සේලා පවසති.

නිසි අධ්‍යයනයකින් තොරව මෙම පනත සම්මත කළහොත් අනාගතයේ නොයෙක් ශාසනික ව්‍යාකූලතාවන් නිර්මාණයවීමට ඉඩ ඇතැයි ද මල්වතු අස්ගිරි මහ නා හිමිවරු සිය ලිපියේ සඳහන් කර ඇත.

Share with your friends :