මහ බැංකුව විසින් සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික වියදම සඳහා අවම රුපියල් 50,000 ක මුදලක් අවශ්‍ය බව වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබියදී ආණ්ඩුව රුපියල් 100 ක දෛනික වැටුප් වැඩි කිරීම සඳහා පනත් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
මෙම පනත හරහා කම්කරුවකුගේ අවම දෛනික වැටුප රුපියල් 400 සිට රුපියල් 500 දක්වා ඉහළ දැමීමට මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා කරන බව පෙන්වා දෙන විජිත හේරත් මහතා පවසන්නේ රුපියල් 500 ක දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන් සිටින්නේ කොතැනද යන්න මෙම පනත සකස් කළ පුද්ගලයන් විසින් පෙන්විය යුතු බවයි.
මෙම පනත් කෙටුම්පත විහිළුවක් සහ විකාරයක් ලෙස හඳුන්වන විජිත හේරත් මහතා පවසන්නේ දෛනික අවම වැටුප රුපියල් 500 නොව රුපියල් 1000 දක්වා ඉහළ දැමිය යුතු බවයි. රටේ පවත්නා ජීවන වියදම හමුවේ රුපියල් 1000 ක වැටුපද ප්‍රමාණවත් නොවන බවත්, කෙසේ නමුත් අවම වශයෙන් 1000 දක්වා හෝ වැඩිවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ජීවන වියදම වැඩිවීම, වෙනත් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන් කාලකන්නි ලෙස හැඳින්වීම හැර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ඇමතිවරුන් මැදිහත් නොවන බව පෙන්වා දෙන විජිත හේරත් මහතා ප්‍රකාශ කරන්නේ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ගුරුවරුන්ට පාරට බැසීමට සිදුවූයේ කාලකන්නි ඇමතිවරුන් නිසා බවයි.