27 C
Colombo
07/11/2024

ජනපති – ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකව අවසන් වෙයි

Share with your friends :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුනට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද මහ ලේකම්වරයා කීය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා ඡන්ද ක්‍රමය සංශෝධන කිරීම , ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටළුව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව පැවැසීය.

මෙම සාකච්ඡා වෙනුවෙන් පැයක කාලයක් වෙන් කර තිබුණ ද සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූ අතර ජනාධිපති සමග ජනාපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී විය.

මේ අතර මීට පෙර මෙරට පැවති බොහෝ සන්ධානවල ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වුවත් වර්තමානයේ එසේ නොවන බව එහි ඇතැම් මන්ත්‍රීවරුන්ට අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කී ප්‍රධාන ලේකම්වරයා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්‍ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ යැයි ච සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්‍ෂයක් වටා සන්ධානගත වූ පක්‍ෂයක් බව අමතක කිරීම නිසා යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අතීත සන්ධාන තුළ ශ්‍රී.ල.නි.පයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදුවන බවද කාරියවසම් මහතා කීවේය.

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී.ල.නි.ප ය ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයේ පක්‍ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්‍ෂයේ ඉන්නවා.

ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්‍ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.”

Share with your friends :