27 C
Colombo
25/11/2024

රිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා අකමැති වෙයි

Share with your friends :

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මේ බව අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

මෙම පෙත්සම් විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් රහස් පොලිස් බාරයේ ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා විසින් මීට පෙර අධිකරණයේදී එම ඉල්ලීම සිදුකර තිබුණි.

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණි.

Share with your friends :