අද වන විට ලොව පුරා වැඩිම පිරිසක් කතා කරන චරිතය ජෝ බයිඩන්ය. ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස පසුගියදා ඔහු දිවුරුම් දුන්නේ එසේ කල නොහැකි වනු ඇතැයි ට්‍රම්ප් අනුගාමිකයන් මාස දෙකක් තිස්සේ කල විවිධාකාරවූ කෙනෙහිලිකම් සියල්ල සිනාමුසු මුහුණින් විඳදරා ගනිමිනි. මේ වන විට ඔහු ට්‍රම්ප් විසින් කණපිට පෙරළු ඇමරිකා එක්සත් ජනපදය යලිත් සාමාන්‍යකරණය කරමින් සිටී. මේ වන විට ඔහු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය කාරනා 33 ක් පමණ වෙනස් කරමින් නව විධායක නියෝග නිකුත් කර තිබේ. එසේම කොවිඩ් පාලනය සඳහා නව විධායක නියෝග දහයක් පනවා තිබේ. පලප්රුදු දක්ෂ පිරිසක් තම කැබිනට් මණ්ඩලයට බඳවා ගෙන ඇති බයිඩන් වසර පනහක පමණ තම දේශපාලන අත්දැකීම් තුලින් ඇමරිකාවේ ඉදිරි ගමන යලිත් වෙනස් කරමින් සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග යලිත් වරක් සම්බන්ධතා ඇතිකර ගත ඔහු කියුබාව සමගද සම්බන්ධතා ඇති කර ගත්තේ මෙක්සිකෝ තාප්පයේ ඉදිකිරීමද අත්හිටුවමිනි.එසේම පැරිස් කාලගුණ සම්මුතියට යලිත් ඇමරිකා එක්සත් ජනපදය එක්කල බයිඩන් මුස්ලිම් බහුතරයක් සහිත රටවල් හතක ජනතාවට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප් පනවා තිබු බාධක ඉවත් කළේය.
අඩුවෙන් කතා කරන සරල මිනිසකු වන ඔහුගේ ජීවිත කතාව දුක් කඳුළු වලින් ගහනය.ඒත් සියල්ල විඳ දරාගැනීමට ඔහුට තිබු ශක්තිය පුදුම සහගතය.ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක ප්‍රධාන පෙලේ සෙනෙට් සභිකයකු ලෙස දශක ගනනාවක් , උප ජනාධිපතිවරයා ලෙස වසර අටක් කටයුතු කලද ඔහුගේ සරල භාවය නම් කිසි විට ඔහු වෙනස් නොකළේය. ජනාධිපති ට්‍රම්ප් හා සංසන්දනය කරන කල ඔහු සරල සාමකාමී චරිතයකි.ඇමරිකානු ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන ඔහු මෙවර ඉතිහාසගත වන්නේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයාද ලෙසය.මීට පෙර එය බැරක් ඔබාමාට හිමිව තිබිණි.
ඔහු 2009 සිට 2016 දක්වා ඔබාමා පරිපාලනයේ එක්සත් ජනපදයේ 47 වන උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස ඔහු 1973 සිට 2009 දක්වාම ඩෙලවෙයාර් හි සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කළේය.
ජෝසෆ් බයිඩන් හා කැතරින් ඉයුජිනියා යුවලගේ වැඩිමහල් දරුවා ලෙස ජෝ බයිඩන් 1942 නොවැම්බර් 20 දා පෙන්සිල්වේනියාවේ ස්ක්රැන්ටන්හි ශාන්ත මරියා රෝහලේදී උපත ලැබීය. ඔහුට සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙකි.
ක්ලේමොන්ට්හි ආර්ච්මියර් ඇකඩමියෙන් 1961 දී පලමු උපාධිය ලබා බයිඩන් නෙවාක්හි ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ලබා ගත්තේ 1965 දීය.1968 දී බයිඩන් සිරකස් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේය.
1966 අගෝස්තු 27 සිරකස් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නීලියා හන්ටර් සමඟ ජෝ බයිඩන් විවාහ විය. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටියහ: ජෝශප් “බියු” බයිඩන් , රොබට් හන්ටර් බයිඩන් සහ නයෝමි ක්‍රිස්ටිනා “ඇමී” බයිඩන් ඔවුන්ගේ දරු තිදෙනාය.තම බිරිඳට ඉතාම දැඩි ලෙස ආදරය කල බයිඩන් දරු තිදෙනා සමග සතුටින් ජීවිතය ගත කළේය.
බයිඩන් 1970 දී නිව් කාසල් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී විය.
බයිඩන් 1972 දී ඩෙලවෙයාර්හි සෙනෙට් සභිකයා ලෙස එක්සත් ජනපද සෙනෙට් සභාවට තේරී පත් විය. 1972 දෙසැම්බර් 18 වන දින බයිඩන්ගේ බිරිඳ නීලියා තම දරු තිදෙනා සමග භාණ්ඩ මිලදී ගැනීම සඳහා තම වාහනය පදවා ගෙන යමින් සිටියදී ඩෙලවෙයාර් හි හොකෙසින්හිදී දරුණු රිය අනතුරකට ලක්වුහ. එම රිය අනතුරෙන් බයිඩන්ගේ බිරිඳ නීලියා සහ ඔවුන්ගේ එක් හැවිරිදි දියණිය ඇමී මිය ගියහ. බිඩෙන්ගේ පුතුන් වන බියු සහ හන්ටර් බරපතල තුවාල ලබා දිවි ගලවා ගත්හ.
සිඟිති පුතුන් දෙදෙනා සමග මෙලොව තනිවූ බයිඩන් තම දරු දෙදෙනා රැක බලා ගැනීම සඳහා සෙනෙට් සභික තනතුරින් ඉවත්වන්නට කීපවරක්ම උත්සහ ගත්තේය. එහෙත් එහි ජ්‍යෙෂ්ඨ නායකයකු වූ මයික් මෑන්ස්ෆීල්ඩ් එසේ නොකරන ලෙස ඔහුට බල කළේය. එසේම සෙනෙට් සභා රැස්වීම් අතරතුර පවා තම දරුවන්ගේ කටයුතු සොයා බලන්නට දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්නට පවා බයිඩන් හට සෙසු සෙනෙට් සභිකයෝ විශේෂ අවසර ලබා දුන්නේය. මේ කාලයේ ජෝ බයිඩන් දිනපතාම වොෂින්ටනයේ සිට ඩෙලවෙයාර් දක්වා පැය හතරක දුම්රිය ගමනකින් නිවසට යන අතරේ තම පුතුන් නින්දට යැවිය හැකි ළමා කතන්දර කියවා පාඩම් කර ගත්තේය. ගෙදර ගොස් දරුවන් නැළවූයේය. හැම උදෑසනකම අවදි වී රැකියාවට යාමට පෙර දරුවන්ට උදා ආහාරය පිසුවේය.ඔහු සෑම දෙයක්ම දරා ගනිමින් තම කුඩා පුතුන් දෙදෙනා වෙනුවෙන්ම කැපවිය.
මේ කාලයේ බයිඩන් නිතරම තම මියගිය බිරිඳ හා දියණිය මතක් කරමින් පසුතැවුනේය. තවත් විවාහයක් කර ගන්නා ලෙස ඔහුගේ මිතුරෝ ඔහුට බල කලද ඔහුට ඒ සඳහා සිතහදා ගැනීම දුෂ්කර විය.
බයිඩන් හට ඔහුගේ දෙවන බිරිඳ ජිල් ට්‍රේසි ජේකබ් හමුවන්නේ 1975 දීය. ඇය ගුරුවරියක් වුවාය. පසුව 1977 දී ඔවුන් දෙදෙනා විවාහ වුහ. බයිඩන් හට නැවතත් ජීවිතය යලි ලබා දුන්නේ දෙවන බිරිඳය.ඇය සැබවින්ම ඔහුට ගුරුවරියකම වුවාය. දේශපාලනය හා ජීවිතය පිළිබඳ ඔහුගේ උනන්දුව අලුත් කරන්නට ඇය කටයුතු කළාය. ඔවුන්ගේ දියණිය ඈශ්ලි බ්ලේසර් 1981 දී උපත ලැබීය. බයිඩන් ගේ වැඩිමහල් පුතු බියු බයිඩන් නීතිවේදියකු මෙන්ම හමුදා නිලධාරියකුද විය. ඔහු ඉරාක යුද්ධයේදී ඇමරිකානු හමුදාවේ සේවය කල අතර පසුව ඩෙලවෙයාර් හි නීතිපති ලෙස පත් විය. 2015 දී ඔහු පිළිකා රෝගයෙන් මිය ගියේය. හන්ටර් බයිඩන් දැනට වොෂින්ටනයේ නීතිවේදියකු ලෙස සේවය කරන අතර දියණිය ඈෂ්ලි බ්ලෙසර් සමාජ සේවිකාවකි.
1988 දී ඔහු ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඔහු තරග වැදුනි. එය යම් යම් හේතුමත අසාර්ථක විය. ඔහුට ඩිමොක්රටික් අපේක්ෂකත්වය ලැබුනේ නම් ඇමරිකානු ඉතිහාසයේ ජෝන් එෆ් කෙනඩි ට පසුව ලාබාලතම ජනාධිපතිවරයා ඔහුවන්නට ඉඩ තිබිණි.බයිඩන් හය වතාවක් සෙනෙට් සභාවට තේරී පත් වූ අතර ඒ සෑම අවස්ථාවකම සියයට හැටඉක්මවා ඡන්ද ලබා ගත්තේය.
2008 ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් අපේක්ෂකත්වය සඳහා බයිඩන් තරග වැදුනද පසුව එයින් ඉවත් විය. බැරක් ඔබාමා පසුව ඔහු තම උප ජනාධිපති අපේක්ෂකයා ලෙස බයිඩන් පත් කර ගත්තේය. මේ දෙදෙනා ඡන්ද සටන ජය ගත්හ.ඔබාමා සහ බයිඩන් 2012 දී නැවත තේරී පත් වුහ. උප ජනාධිපතිවරයා ලෙස සාර්ථක එහෙත් නිහඬ කාර්යයක් ඉටු කරමින් ඔබාමා හට බයිඩන් පුර්ණ සහය ලබා දුන්නේය.
2019 අප්‍රේල් මාසයේ දී බයිඩන් 2020 ජනාධිපතිවරණයේ සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ අතර 2020 ජුනි මාසයේ දී ඩිමොක්රටික් නාමයෝජනා ලබා ගැනීම සඳහා අවශ්‍ය නියෝජිත සීමාවට ඔහු පැමිණියේය. 2020 අගෝස්තු 11 වන දින ඔහු කැලිෆෝනියාවේ එක්සත් ජනපද සෙනෙට් සභික කමලා හැරිස් සිය උපජනධිපති අපේක්ෂක ලෙස බයිඩන් විසින් ප්‍රකාශයට පත් කළේය.
බයිඩන් මත්පැන් පානය නොකරන අතර ඔහු පවසන්නේ තම පවුලේ ඇති තරම් බේබද්දන් සිටින බවය.
බයිඩන් ඉතාම සරල ජීවිතයක් ගත කල අතර ඔහු කිසි විට මුදල් පසුපස හඹා නොගියේය. සෙසු සෙනෙට් සභිකයන් අතර බයිඩන්ගේ වත්කම් පහලම මට්ටමක විය. බයිඩන් හා බිරිඳ යම් ප්‍රමාණයක් හෝ මුදලක් උපයා ඇත්තේ පොත් ප්රකාශනයට පත් කිරීමෙනි. ජෝ බයිඩන් අද වන විට කොතරම් සාර්ථක පුද්ගලයකු වුවද ඔහුගේ ජීවිතය පුරා කඳුලින් ලියවුනු කාලපරිච්ඡේදයන් බොහෝය. ඒ සියල්ල විඳගැනීමට තරම් ඔහු ශක්තිවන්තයකු විය.ජීවිතය ගැන හදාරන්නට හොඳම කතාවක් ලෙස ජෝ බයිඩන්ගේ ජීවිත කතාව හැඳින්විය හැකිය.
next post