කොරෝනා වසනගතය හා ආර්ථික ගැටළු නිසා රටේ ජනජීවිතය අඩාලව පවතිද්දී පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදී තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු කර ගෙන යයි.
මේ අනුව පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදී තහනම් කිරීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කමිස ඇසුරුම්වල ඇති ප්ලාස්ටික් කටු, එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි, ආහාර පෙට්ටි, යෝගට්, අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන්, පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන පොස්ටර්, දැන්වීම්, කටවුට්, බීම බට හා බීම කලතන පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි කවර, ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග්, මිලිලීටර 400ට අඩු කුඩා බෝතල්, හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන දවටන, ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට අඩංගු පුද්ගලික සෞඛයාරක්ෂණ ආලේපන, ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු, හැඳි හා කෝප්ප ආදිය මෙම තහනම් කරන ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය.
එම නිෂ්පාදනයන් තහනම් කිරීමට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබේ.
ෂැෂේ පැකට්ටු ආදී පරිසරයට හානිකර නිෂ්පාදන වර්ග පහක් පරිසර අමාත්‍යාංශය විසින් ඉකුත් මාර්තු 31 දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
ලොව දියුණු රටවල පවා ක්‍රියාත්මක නොවන මෙවැනි තහනම් කිරීම් නිසා සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවලට ලක්ව සිටිති.
දෙවන තහනම් කිරීමේ ලැයිස්තුවට අයත් භාණ්ඩ බහුතරයක් සඳහා පරිසර හිතකාමී, මෙන්ම ඉක්මනින්ම දිරාපත්වන විකල්ප යොදාගෙන නිෂ්පාදනය කළ හැකි බව ඇමතිවරයා පවසා ඇත. එහෙත් අදාළ ද්‍රව්‍ය විශාල වශයෙන් නිෂ්පාදනයට ස්වභාවික ද්‍රව්‍ය රට තුල නොමැත. එසේම ඒ සඳහා වැය වන මුදල දරා ගැනීමට සාමාන්‍ය ජනතාවට අපහසුය. රටේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරනා බොහෝ තිබියදී මෙවැනි කාරණා සම්බන්ධයෙන් මුලිකත්වය ලබා දීම විහිළුවක් වී තිබේ. විශේෂයෙන්ම අදාළ ප්ලස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා කිසියම් පියවරක් ගැනීම වෙනුවට මෙවැනි කැකිල්ලේ තීන්දු ගැනීම ශ්‍රීලංකාව වැනි රටකට ඔරොත්තු දෙන්නේද යන්න ගැටලුවකි.
ලොව පරිසරය රැකගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ප්‍රධානම පෙලේ බොහෝ රටවල් පවා මෙවැනි තීන්දු හෝ ක්‍රමවේද අනුගමනය නොකරති.