27 C
Colombo
20/11/2024

ගිනිගත් නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය කපිතාන්ට යැවූ ඊමේල් මකාදමලා

Share with your friends :

මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිද්ධියට අදාලව සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැත බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණයේ පෙනී සිටියහ. මෙම ගිනිගත් නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අධිකරණය අවසර ලබාදුන්නේය.

මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවය.

නොෟකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගොනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉලීමක් කළේය.

මෙම නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිටි්‍රක් අමිලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවට දැනට කරන ලද විමර්ෂණවලදී හෙළි වී ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය දැනුම් දුන්නේය. මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Share with your friends :