27 C
Colombo
20/11/2024

පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මියයාම ගැන එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම්

Share with your friends :

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන තුවාල ලබා රෝහල් ගතකර සිටියදී මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

මරණකරු නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී පැන යාමට උත්සහා දරා ඇතැයි පොලිසිය කියයි.
නිරෝධායන නිති සහ සංචරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඇතැයි උප පොලිස් පරීක්ෂක වරයා සහ සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

මීට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පවත්වා එම කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share with your friends :