27 C
Colombo
25/11/2024

කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලට – මහා වැසි වලින් 130,000 ක් අවතැන්

Share with your friends :

කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි පැවසේ.කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුවයි.
දින දෙකක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාසල් සිසුවියක මියගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක පහකට අයත් පවුල් 31,303කට අයත් 1,30,672කට වැඩි විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව මෙයින් පීඩාවට පත්ව ඇති අතර පීඩාවට පත් පවුල් 1,119 කට අයත් 5,607 දෙනෙක් ආරක්ෂිත ස්ථාන 27 ක රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (පූර්ව දැනුම්දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි

තවත් පවුල් 200 කට අයත් 792 දෙනෙක් ඥාති නිවෙස්වල රැඳී සිටින බව ද ඔහු සඳහන් කරයි.

රත්නපුර, අයගම දුම්බර ග්‍රාම සේවා වසමට අයත් මැදපොල ප්‍රදේශයේ කන්දක් නාය යාම හේතුවෙන් ඊට යට වී වයස අවුරුදු 16 ක සිසුවියක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයකු අතුරුදන් වී ඇත.

මින් වැඩිම පීඩාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක පවුල් 23,455 කට අයත් 98,052 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් 751 කට අයත් 3551 දෙනෙක් ආරක්ෂිත ස්ථානවලත්, පවුල් 17කට අයත් 66 දෙනෙක් ඥාති නිවෙස්වලත් රැඳී සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අටක පවුල් 6,608කට අයත් 28,240ක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 353කට අයත් 1,469 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රඳවනු ලැබ සිටිති.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 915කට අයත් 3,137 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 322 කට අයත් 1,242 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් තුනකට අයත් අට දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල නිවාස 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 317කට අර්ධ හානි සිදුව ඇත.

Share with your friends :