කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශ වී ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත නතර කර දැමීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ එම නෞකාවේ පසුපස කොටස මීටර විසි දෙකක් පමණ ගැඹුරු මුහුදට ගිලා බැසීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන දැවුණු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට ඇදගෙන යද්දී නැවේ පසුපස කොටස මුහුදු පතුලේ ගෑවීම නිසා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යෑම අත්හැර දැමු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවුහොත් එය වැලැක්වීමට නාවික හමුදාව සහ වරාය අධිකාරිය ඇතුළු කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බවත් මෙම නෞකාව පිළිබඳව කටයුතු කිරීමට ඉන්දීය යාත්‍රා තුනක් ද සූදානමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍යප්‍රකාශකවරයා කියයි.
නෞකාවේ පිටු පස කොටසේ ජලය පිරීමෙන් මුහුදු පතුලේ වැදීමෙන් නෞකාව තව දුරටත් ඇදගෙන යෑමට නොහැකි තත්වයක් මතුවීමෙන් ගැඹූරු මුහුදට ඇදගෙන යෑම අත්හැරි බවත් ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා ඇදගෙන යෑම ආරම්භයේදීම අවිනිෂ්චිත තත්වයක් ඇතිවී තිබූ බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. නෞකාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදේ ගිලෙන තත්වයක් පෙන්නුම් කළේය. විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙතෙ) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සහ ඉන්දීය නාවික හමුදාපතිවරයා නෞකාවේ සිද්ධිය පිළිබඳව දුකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉන්දීය නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට තව දුරටත් සහාය දැක්වීමට පොරොන්දු වී ඇත.