“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනිම හරහා රසායනික ද්‍රව්‍ය සාගරයට එක්වීමෙන් සිදු වු බලපෑම වසර 10ත් 20 අතර කාලයක් පැවතිය හැකි බව සත්ත්ව විද්‍යා මහාචාර්යවරු පවසති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පද්මලාල් මානගේ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, රසායනික ද්‍රව්‍ය තුළින් වෙරළාසන්න මුහුදු පතුලට පවා දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පද්මලාල් මානගේ මහතා,
“බොහෝ විට මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ දීර්ඝ කාලයක් පවතින ආකාරයට. ඒ නිසා මේ රසායනික ද්‍රව්‍ය බොහෝකාලයක් අදාළ පරිසරය තුළ පවතී කියලා අපි විශ්වාස කරනවා. එය දීර්ඝකාලීනව ජීවන චක්‍ර විනාශ වීම නිසා අපේ ජෛව සම්පත එහෙම නැත්නම් මත්ස්‍ය සම්පතට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මම ඉතාමත් පුදුමයට පත්වුණා පතුලේ ජීවත්වෙන මසුන් පවා මරණයට පත්වෙලා තිබුණා. ඉතින් මේකෙන් පෙන්නුම් කරනවා මේ රසායනික ද්‍රව්‍ය වෙරළාසන්න ප්‍රදේශයේ මුහුදු පතුලට බලපෑමක් ඇති කරලා තියෙනවා කියලා. මෙහි බලපෑම මම හිතන්නේ අවුරුදු 10ත් -15ක් හෝ 20ක් පමණ වෙන්නත් පුළුවන්.”
නෞකාවෙන් ගිනි ගැනිමත් සමඟ ඉන් මුහුදට එක්වු අපද්‍රව්‍ය කොටස් මේවන විට ගාල්ල , මාතර වෙරළ ප්‍රදේශ වෙතට ගසා විත් තිබේ.
කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක් වූ නෞකාවේ බඳ කොටසේ පැවති ගින්න මේ වන විට පාලනය කර තිබේ.
එහෙත් තවදුරටත් නෞකාවේ මැද කොටසින් දුමාරයක් පිටවෙමින් ඇති ආකාරය දක්නට ලැබෙන බව නාවික හමුදාව පවසයි.
මේ අතර නාවික හමුදාව විසින් ගත වු දින තුන තුළ දී අධෝරක්ත කිරණ සංවේදක නිරීක්ෂණ කැමරා මඟින් නෞකාවේ ගින්න පටිගත කර තිබු අතර එය මාධ්‍යයට නිකුත් කර ඇත.
ඊට අනුව මේවනවිට ගින්න ඉතාමත් සුළු වශයෙන් නිරීක්ෂණය වන බව නාවික හමුදාව පවසයි.
පසුගිය දින කිහිපයේදීම ආරක්ෂක අංශ විසින් පවිත්‍ර කළ වත්තල, මීගමුව මුහුදු තීරයට තවදුරටත් නෞකාවේ බහාලුම්වල තිබු පොලිතින් කැට ගසා එන ආකාරය අද පෙරවරුවේ දැකගන්නට ලැබුණි.
මේ අතර අද පස්වරුවේ මාරවිල තෝඩුවාව වෙරළ තිරයට කැස්බැවෙකු ගොඩ ගසා තිබුණු අතර, ආනවිලුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින් පවසන්නේ එම කැස්බෑවාගේ සිරුරේ තුවාල කිහිපයක් දැකගන්නට ලැබුණු අතර සත්වයා මත්ගතියකින් පසුවන බවට ද නිරීක්ෂණය වු බවය.
නෞකාවෙන් වෙරළට ගසා එන අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බහලුම්වල බහා තැබිමට මධ්‍යම පරිසර ආරක්ෂණ අධිකාරි මේවන විට කටයුතු කර තිබේ.
ඒ අනුව වෙරළින් එක්රැස් කරන එම අපද්‍රව්‍ය වත්තල පොලීසිය අසල ඉඩමක ස්ථාපිත කර ඇති බහාලුම්වල ගබඩා කෙරේ.
මේ අතර ගිනි ගැනීමට ලක් වු නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉකුත් 23 වැනිදා කොළඹ වරාය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඒ අනුව කොළඹ වරාය පොලිසිය පරික්ෂණ ආරම්භ කළ අතර ඊට අදාළව ලබාගත් මුහුදු ජලය රජයේ රසපරීක්ෂක වෙත මේවන විටත් යොමු කර ඇත.