කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක්වූ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කොටස් නිසා ඇතිව පාරිසරික බලපෑම වයඹ මුහුදු තීරයේ මෙන්ම දකුණු මුහුදු තීරය හා ත්‍රිකුණාමලය දක්වාමත් ව්‍යාප්ත විය හැකි බව බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා පවසයි.
“මෙම නෞකාවේ ප්ලාස්ටික අමුද්‍රව්‍ය කැබලි ආසන්න වශයෙන් මිලියන 78ක් තිබුණා. සමහර ඒවා අපට ඉවත් කළ හැකියි, නමුත් සමහර ඒවා දිගුකාලීනව රඳා පවතීවි. ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ සෝමාලියාව වැනි රටවලටත් මේ දේවල් පාවී යා හැකියි. ඒවගේම අපේ රටේ දකුණු වෙරළ තීරයටත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයටත් මෙහි බලපෑම් ඇතිවිය හැකියි. කළපු සහ ගංගාවලටත් මෙය මිශ්‍ර විය හැකියි. මෙහි බලපෑම පරම්පරා ගණනාවකට මුහුණ දීමට සිදුවේවි. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශය නරකම පරිසර ව්‍යසනයක් මේ සිදුවෙලා තිබෙන්නෙ. මෙම නැවේ තෙල් මෙට්‍රික් ටොන් 300ක් තිබෙනවා. එනිසා නැව ගිලෙන එක නැවැත්විය යුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ගිනිගත් “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ මිශ්‍ර උපද්‍රවකාරි අපද්‍රව්‍ය, කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ යෝජනා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත යොමු කරමින් එම අධිකාරිය මේ බව සඳහන් කර තිබේ.
එම අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා ඒ පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් යෙදවිය යුතු අතර ඔවුන් නිසි ආරක්ෂිත උපකරණ හා ක්‍රමවේද භාවිත කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.උපද්‍රවකාරි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ කටයුතු සඳහා ඊට අදාළ බලපත්‍ර සහිත ආයතන යොදාගත යුතු බව ද එම අධිකාරිය පවසයි.
අපද්‍රව්‍ය අපහරණය ඇතුළු මේ සම්බන්ධයෙන් සිදුකරන සියලු පිරිවැය අදාළ නැව් සමාගම විසින් දැරිය යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය සිය යෝජනා මඟින් පෙන්වා දී ඇත.
මේ අතර රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මියයන කිසිදු ජීවියෙක් ආහාරය සඳහා සුදුසු නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා පවසයි.
එහෙත් විස්තරාත්මක පරීක්ෂාවකින් තොරව මාළුන් මියයන්නේ අනතුරට පත් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසාවෙන්ද ස්වසන මාර්ගය අවහිර වීමෙන්ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බව ආචාර්ය දිසානායක වැඩිදුරටත් කීය. එසේ නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මත්ස්‍ය අස්වනු නෙළන ධීවරයන්ගේ මාළු පරිභෝජනයට නුසුදුසු බව ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා පවසයි.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ සාගරයට මුසු වන රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රනය දියඹේ ඈතට යනවිට අඩු වී යාමයි. නමුත් මුහුදට එකතු වී ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවායේ වර්ග අනුව මෙම රසායන ද්‍රව්‍ය මත්ස්‍යයන්ට ශරීර ගතවිය හැකි බව ඔහු සඳහන් කරයි.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ (එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්) නෞකාවේ රැගෙන ආ භාණ්ඩ සහ ඒවා තුළ අඩංගුවිය හැකි රසායන ද්‍රව්‍ය මුහුදු ජල පද්ධතියට එක්වීම නිසා මුහුදු ජීවී පද්ධතියට සහ එහි ආහාරවලට කෙටිකාලීනව මෙන්ම දිගු කාලීනවද බලපෑම් ඇතිවීමේ තර්ජනයක් පවතින බව ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච්.බී. ජයසිරි මහතාද අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වෙරළ සහ සමුදුරු සම්පත් කළමනාකරණ අංශයේ ප්‍රධානී සහ ජේෂ්ඨ කතිකාවාර්ය ආචාර්ය එච්.බී. ජයසිරි පෙන්වා දෙන්නේ නැවෙන් ප්‍රවාහනය කළ බව කියන ද්‍රව්‍ය අතර මයික්‍රො ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් නිෂ්පාදන තිබිය හැකි බවත් මේවා සමුදුරු ජීවීන් ගිල දැමීම මගින් ඔවුන් මියයාම මෙන්ම ඒ අහිතකර ද්‍රව්‍ය සහිත මත්ස්‍ය නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට හානිකර ඒ ද්‍රව්‍ය අපේ ආහාරවලට එක්වීමෙන් සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බවය.
නැවේ ගෙන ආ භාණ්ඩ තුළ අඩංගුවිය හැකි ඇතැම් රසායණ ද්‍රව්‍ය මුහුදට එක්වීම මගින් දිගුකාලීනව ජලයේ ආම්ලිකතාව වෙනස් වීම සහ ඒ හේතුවෙන් කොරල්පර ආශ්රිත ජීව පද්ධතියට හානි සිදුවීමේ අනතුරත් පවතින අතර ආම්ලික වැසි ඇතිවීම දක්වා බරපතළ මට්ටමකට වුවද මේ බලපෑම පැතිර යා හැකි බව ඔහු පෙන්වා දෙයි.