27 C
Colombo
23/09/2024

දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් – රජය සුදානමින්

Share with your friends :

පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.
එම ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්‍ෂණ පවතින ප්‍රදේශවල, කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් එම සංවිධානය පවසයි.
නිරිත දිග මෝසම දිවයින තුළ සක්‍රීය වීමත් සමඟ ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12ක ජනතාව වෙනුවෙන් සහන මධ්‍යස්ථාන සුදානම් කර පවතී.

මේ අතර ආපදා කළමනාකරණ ඒකකයේ, අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසන්නේ ඒ සඳහා වු මුදල් හා සහන ප්‍රතිපාදන ද මේ වන විට වෙනුකර ඇති බවය.

ඊට අමතරව කොවිඩ් සහ ඩෙංගු වසංගතය සමඟ ඇතිවෙන ආපදාවන්ට මුහුණ දීම සඳහා ද සෑම ප්‍රදේශයකම විශේෂිත වු ස්ථානයන් පිළියෙල කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර නිරෝධායනයට ලක්වන පුද්ගලයින් යම් ආපදා අවස්ථාවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍ය අංශය සමඟ එක්වී එම පුද්ගලයින් රඳවා තැබීමට නිරෝධායන අතරමැදි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ද ඒ මහතා කියාසිටියේය.

නේවාසිකව හා නිවසේ සිට නිරෝධායනය වන පුද්ගලයින් පැය 24කට පෙර අදාළ ස්ථානවලින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව ද පැවසු ඒ මහතා, 117 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව ද පැවසීය.

Share with your friends :