27 C
Colombo
23/09/2024

පෝට් සිටි පනතට ලැබුණු ඡන්ද ගණන් කරද්දී වැරදිලා – G.L. පීරිස්

Share with your friends :

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඒ අනුව පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැයි ද ඇමතිවරයා ඇමතිවරයා සඳහන් කරයි.

ඡන්ද ගණනය කිරීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ඡන්ද ගණනය වී නැති බවත්, එබැවින් ඡන්ද සංඛ්‍යාව 148ක් ලෙස සඳහන් වූ බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඡන්ද ගණනය එසේ වැරදීම බැරෑරුම් තත්වයක් බව කී ඇමතිවරයා එය සිදුවූයේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ද පැවසීය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී පනතක් වන වරාය නගර පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වූ අවස්ථාවක එය නිසි ආකාරයෙන් නොදැක්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.

එය කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද කාරියවසම් මහතා සඳහන් කරයි.

Share with your friends :