27 C
Colombo
25/09/2024

පෝර්ට් සිටි පනත කල්දමන්න-ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති

Share with your friends :

‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති.

ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ කොළඹ අගරදගුරු හිමිපාණන් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසූහ.

ජනතාවට බලපාන පනතක් හදිසියේ සම්මත කළ යුතු නැති බවත් ඒ ගැන ජනතා අදහස් ද ලබා ගත යුතු බවත් ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසූහ.

මේ මොහොතේ දෙදෙනකුට එක් වී කතා කිරීමට බැරි තත්ත්වයක මෙලෙස හදිසියේ පනත සම්මත කරගැනීමට උත්සහ දැරීම ගැන සැකයක් පවතින බවයි උන්වහන්සේ පැවසූහ.

වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථානුකූලව අත නොතබන ව්‍යවස්ථාවෙන් පිටත ප්‍රශ්න රැසක් පවතින අතර ඒ ගැන ආණ්ඩුවත් සමඟ සාකච්ජා කිරීමට අවශ්‍ය හෙයින් කලබලයෙන් හදිසියෙන් මෙම පනත හෙට දින සම්මත කර ගැනීමෙන් වළකින ලෙස පූජ්‍ය අල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසූහ.

සංවාදයට ඉඩක් නොතබා මෙතරම් ඉක්මණට මෙම පනත සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සහ දරන්නේ ඇයිද යන ප්‍රශ්නය පවතින බවද,ජනතාව දුකින්, වේදනාවෙන් පෙළන අවස්ථාවක දෙදෙනෙක් එකට එකතු වෙන්න එපා කියන පරිසරයක මේ ගැන සංවාද කිරීමට අවස්ථාවක් ජනතාවට නොමැති හෙයින් පනත සම්මත කරගැනීම කල් දමන ලෙස අල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ ආණ්ඩුවට අවධාරණය කළහ.

“ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත්කර තිබෙන සංශෝධන මේ කඩිමුඩියේ කොහොමද එකතු කරන්නේ. සම්මත කරලද සංශෝධන එකතු කරන්නේ. ඒ වගේම තමයි අපට තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි මෙය ස්ථාපනය කිරීමෙන් පසු උපයන අදායමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? මෙතන මණ්ඩල දෙකක පත් කරනවා. දේපල පාලනයට සහ කොමිෂන් සභාව ලෙස. මේවාට ශ්‍රී ලාංකිකයින් පත්විය යුතුයි. එපමණක් නොවෙයි ද්විත්ව පුරවැසියන්ට මේවට පත් නොකළ යුතුයි. කඩාකප්පල් කරන්න හදනවා කියා කියා යන්නේ නැතුව මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ රට අපේ. මේ රට අයිති රටේ මිනිස්සුන්ට. වත්මන් රජය සිහිතබා ගතයුතුයි ඔවුන් භාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බව, අපි ඔවුන්ට භාරදුන් රට ඒ ලෙසම නැවත භාරදීම කළ යුතුයි. ” උන්වහන්සේ පැවසූහ.

මෙහිදී කරුණු දැක්වූ කාදිනල් හිමිපාණෝ,
“කොවිඩ් වසංගතය නිසා විශාල අවුල් ජාලාවක අපෙ ජනතාව වැටිලා තියෙනවා. ලොකු අරගලයක ජනතාව යෙදෙන සමයක මේ පනත සම්මත කරගන්න තියෙන කුලප්පුව මොකද්ද කියලා මම ප්‍රශ්න කරනවා රජයෙන්. ඒකෙ විනිවිදභාවය පිළිබඳව යම්කිසි සැකයක් අපට ඇතිවෙනවා. රටේ සම්පත් අනුන්ට පවරන්නට කලින් ජනතාවගෙන් අහන්න ඕනෙ. ඒ තීන්දුව කියෙව්වෙ ඊයෙ, එතකොට කොහොමද දැන් ඡන්ද විමසීමක් තියන්න එකපාර කලබලේ කටයුතු කරන්නෙ ? එම ඡන්දය කල්දමන්න කියලා මම ඉතාමත්ම ඕනෑකමින් ජනතාවගේ පැත්තේ ඉඳන් කතා කරමින් ඉල්ලීමක් කරනවා”

Share with your friends :