27 C
Colombo
26/11/2024

ආණ්ඩුවේ ලීසිං සහන මාධ්‍ය ප්‍රකාශ පමණයි – දඩ පොලී-වාහන ඉස්සීම දිගටම

Share with your friends :

වාහන ලීසිං හා ෆිනෑන්ස් පහසුකම් ලබා ගත් ජනතාව වෙනුවෙන් සහන ලබාදෙන ලෙස රජය ලබාදුන් නියෝග අදාළ ආයතන විසින් තඹයකට හෝ මායිම් කර නැතැයි ජනතාව මැසිවිලි නගති. රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිගින් දිගටම මාධ්‍ය ප්‍රකාශදෙමින් මෙම සහන දිගටම ලබා දිය යුතු බවට රජය නියෝග කර ඇතැයි පවසා තිබිණි.
එහෙත් අදාළ සමාගම් පවසන්නේ එවන් නියෝග තමන්ට ලැබී නොමැති බවය. මේ හේතුවෙන් අදාළ සමාගම් තමන්ගේ සීසර්වරුන් ලවා ලීසිං වාරික නොගෙවන වාහන පැහැරගෙන යාම සිදු කරනු ලබයි. එසේම ලීසිං වාහන සඳහා අධික දඩ පොලී අයකිරීම දිගටම සිදු කරනු ලබයි. මෙරට ප්‍රධානම පෙලේ ව්‍යාපාරිකයන් සතුව මෙම මූල්‍ය සමාගම් පවතින අතර ඒ හේතුවෙන් රජය ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවක් නොපෙනේ.
මේ අතර කොවිඩ් අවදානමත් සමඟ පාසල් වසා දැමීමෙන් ආදායම් අහිමිවී සිටින පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන හිමියන්ට ලීසිං සහනයක් ලබාදෙන ලෙස සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
එම සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා පවසන්නේ මීට පෙර අවස්ථාවලදී රජය කොන්දේසි පනවා තිබියදී ද ලීසිං සමාගම් සිය සංගමයේ සාමාජිකයන්ට එන්තරවාසි යොමු කළ බවත් දැඩි අපහසුතාවට පත්ව සිටි මේ අවස්ථාවේදී රජය සෘජුවම මැදැහත්විය යුතු බවත්ය.
වසරකට වැඩි කාලයක් පාසල් වසා තැබීමෙන් තම සංගමයේ සාමාජිකයන් සියයට අනුවක්ම දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් සහනයක් නොලැබුණ හොත් පාසල් ළමුන් ප්‍රවාහන කර්මාන්තය බිඳ වැටෙන බවත් සභාපතිවරයා පැවසීය.
ලීසිං සමාගම් විසින් ජනතාවට සිදුකරන අසාධාරණකම් සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය මුනිවත රකින අතර ඊට හේතුවී ඇත්තේ වෙළඳ දැන්වීම් ලබා නොදෙන බවට සිදු කරන බලපෑමය.

Share with your friends :