27 C
Colombo
01/11/2024

සංචරණ සීමා-ඇඳිරි නීති බලපත්‍ර නීති දැඩිවෙයි – කොරෝනා මැඩලන්න නව නීති

Share with your friends :

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වෙත උපදෙස් දී තිබේ. කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ඒ අනුව භාණ්ඩ බෙදා හැරීම, අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු කටයුතුවලදී දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කෙරන අතර මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොලීසියට උපදෙස් දුන්නේය.
කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී තිබේ.
පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට ගත් පියවර සාර්ථක එකක් බැවින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණය ඇතිව එය තවදුරටත් විධිමත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතු බවත්, ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට නිරෝධායනයෙන් පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මාසික වැඩිහිටි දීමනාව පෙර පරිදිම නිවසටම ගොස් භාර දීමට කටයුතු යොදා ඇත.එසේම නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබේ.

Share with your friends :