27 C
Colombo
01/11/2024

බස්නාහිර පළාතට හා තවත් ප්‍රදේශ කීපයකට සතියක් කොරෝනා ඇඳිරි නීතිය

Share with your friends :

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථා‍නයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව හෙට (2) උදෑසන 5.00ට අවසන්වීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය ලබන 9 වැනිදා දක්වා අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක බව ද හමුදාපතිවරයා සඳහන් කලේය.
පසුගිය දිනවල කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩි ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව ද හමුදාපතිවරයා පැවසීය.
මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට හා කුලියාපිටිය පොලිස් වසමට ද මෙම ඇඳිරිනීතිය ක්‍රියාත්මකය.
දැනට රෝහල් ගතකර සිටින කොරානා ආසාදිතයන් ගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන සහ සමාජයට වෛරසය බෝ වීමේ අවදානමක් නොමැති පුද්ගලයන් නිවෙස් කරා යාමට රජය තීරණය කර තිබේ.
එවැනි පුද්ගලයන් දින 14ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව නිවෙස් වෙත පිටත් කර යැවීමට තීරණය කර ඇති අතර ඔවුන් නිවසට යාමෙන් පසුව ද එහි සිට දින දාහතරක් නිරෝධායන වීම ද අනිවාර්ය කර තිබේ. නව රෝගීන්සඳහා මේ වන විට රෝහල් වල ඉඩ කඩ සීමාවී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයෙන් අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Share with your friends :