27 C
Colombo
23/10/2024

විදේශ සේවයට බඳවා ගැනීමේ විභාගයට රාජ්‍ය සේවකයන්ට වයස් සීමා පැනවීමෙන් දහස් ගණනකට අසාධාරණ

Share with your friends :

ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40 දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සඳහා ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
එහෙත් මෙවර රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ඒ සඳහා ඉදිරිපත් විය හැකි වයස් සීමාව වයස 37 දක්වා සීමා කිරීම නිසා රාජ්‍ය සේවයේ උපාධිධාරීන් දස දහස් ගනනකට දැඩි අසාධාරණයක් සිදුව තිබේ. සාමාන්‍යයෙන් පරිපාලන සේවය , සැලසුම් සේවය , ගණකාධිකරණ සේවය ආදී රාජ්‍ය සේවයේ විභාග රැසකට ඉදිරිපත්වීම සඳහා වයස් සීමාවක් නොමැත. මේ හේතුවෙන් 1999 හා 2005 වසරේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් කිසිවකුට මේ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව නොලැබේ.
එම උපාධිධාරීන් චෝදනා කරන්නේ සුදුසුකම් සපුරන ලද උපාධිධාරීන් විශාල පිරිසකට අවස්ථාව නොදී මෙවැනි වයස් සීමාවක් පනවා ඇත්තේ කිසියම් පිරිසක් විදේශ සේවයට බඳවා ගැනීම ඉලක්ක කර ගෙන දැයි රාජ්‍ය සේවයේ උපාධිධාරීහු ප්‍රශ්න කරති.
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලබන බවද ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීතිරීති හා රෙගුලාසිවලට අනුව එම තෝරා ගැනීම් සිදු කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මේ අතර රාජ්‍ය සේවයේ අනෙකුත් සියලු සේවාවන් සඳහා රජයේ සේවකයන්ට පමණක් සීමාවූ තරග විභාග පැවැත්වෙන අතර විදේශ සේවය සඳහා පමණක් එවැනි තරග පැවැත්වීම දැනට වසර ගණනාවක සිට නතර කර දමා තිබේ. එමගින්ද රාජ්‍ය සේවකයන්ට විදේශ සේවය සඳහා ඇතුළත්වීමට ඇති අවස්ථා අවුරා තිබේ.

Share with your friends :