ලෝක විවාහක රූ රැජින තරග සංවිධාන කමිටුවේ උපදෙස් මත ශ්‍රී ලංකා විවාහක රූ රුජින කිරුළ එම තරගයේ සංවිධායකයන් විසින් නැවත වරක් පුෂ්පිකා ද සිල්වාට නැවත පළඳවා තිබේ. ප්‍රධාන සංවිධායක ලෙස කිසිදු විටක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත් එම සිද්ධිය පිළිබදව පුෂ්පිකාගෙන් සමාව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප්‍රධාන සංවිධායක සුප්‍රකට රූපලාවරණ ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා අද කොළඹදී පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. පුෂ්පිකා ද සිල්වා මහත්මියගේද සහභාගිත්වයෙන් කොළඹදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඇය තරගය අතරතුරදී දික්කසාද වී සිටියේ නම් ජාත්‍යන්තර නීති රීතිවලට අනුව තරගයට සහභාගි වීමට අවස්ථාව නොමැති බවත් ඇය මේ දක්වා දික්කසාද වී නොමැති වීම නිසා කිරුළට හිමිකම් කියන බවත් චන්දිමාල් මහතා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගය පසුගිය ඉරිදා නෙළුම්පොකුණ රඟහලේදී පැවැති අතර එහිදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට කිරුළ පැළදැවීමෙන් පසුව ලෝක විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි මහත්මිය ප්රමුඛ පිරිසක් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත්වූ කාන්තාවට පැළඳවීම දැඩි ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.
මෙහිදී මාධ්‍ය හමුවේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවේ තමන් යකඩ ගැහැණියක් බවත් කෙනෙහිළිකම්වලින් වැට්ටිය නොහැකි අතර තමන් මේ දක්වා දික්කසාද වී නොමැති බවත් සැමියාගෙන් වෙන්ව දරුවා සමඟ ජීවත් වන කාන්තාවක් බවත්ය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා විවාහක රූ රුජින තරගයේ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද සහභාගි විය.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය විවාහවී සිටින්නේ තිලංක දාබරේරා මහතා සමගය. මේ වන විට ඔවුන් දික්කසාද නඩුවක් ගොනු කර ඇති නමුත් එහි අවසානයක් වී නොමැති අතර එම නිසා ඇය තවමත් නීත්‍යානුකූලව විවාහ වී දරුවෙකු සිටින මවකි.