1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දෙවන පරපුර කොළඹදී “71ට අඩසියවසක් – හැරවුමක ඇරඹුමක් ” යන මැයෙන් සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණි.
1971 සන්නද්ධ අරගලයට පනස් වසරක් පිරීම එහිදී සැමරුණු අතර අරගලයේදී දිවි පිදූ පිරිස සිහි කරමින් පුෂ්පෝහාර දැක්වීමක්ද සිදුකෙරුණි.
එහිදී දෙවන පරපුරේ වෙබ් අඩවිය එළිදැක්වුණි.
මෙහිදී වැඩිදුරටත් කතා කල රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර ,
“රට ගැන තරුණයින් තුළ ඇති ආදරය අවදි කළ යුතුයි. බෙදුණු සියලු දෙනා එක තැනකට ගේනවා. ඇස් ඇරන් බලන් ඉන්න අපි යන මාර්ගය දිහා. ආයුධ සන්නද්ධ තරුණයෝ වෙනස කරන්න උත්සාහ කළා.
21 වන සියවසේ නූතන තරුණයා සමග වෙනස කරනවා. ටොයියෝ, බයියෝ, ජෙප්පෝ – එහෙම නැහැ. හැම පක්ෂයේම රට ගැන හිතන අය ඉන්නවා. හොඳ මිනිස්සු එකතු වෙලා හොඳ සමාජයක් හදමු. හොරුන්ට රෑටත්, දවල්ටත් හොරකමේ යන්න බැරිවෙන්න. මේක වමේ හෝ දකුණේ කොණට අරගෙන යන්නේ නැහැ. රට දිනවන හරි තැන හිටගන්න,” යනුවෙන් සඳහන් කළේය.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති උවිඳු විජේවීර රුසියාවේ යූරල් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය හා පශ්චාත් උපාධිය හදාරා ඇත.
තම පියා මියයන විට ඔහු වසර එකහමාරක පමණ බිළිඳෙක්න්වූ අතර උවිඳුගේ ළමා කාලය ගතවී ඇත්තේ හමුදා කඳවුරු තුළය. ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඔහුගේ ළමාවිය ගෙවුණු අතර 2004 වසරෙන් පසුව උවිඳු ඇතුළු විජේවීර පවුල කොළඹ වැලිසර නාවික හමුදා කඳවුර තුළ යම් නිදහසක් ලැබුහ.
2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණින් උවිඳු විජේවීර ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරනු ඇතැයි ප්‍රකාශ වූ අතර ඒ හරහා ඔහුගේ විශාල සංවාදයක් ඇති විය. කෙසේ නමුත් එම මැතිවරණයට ඔහු ඉදිරිපත් නොවීය.