27 C
Colombo
25/11/2024

නිශ්ශංක සේනාධිපතිට රට යන්න අවසර

Share with your friends :

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.
එම නඩුව අද ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නැත.
ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට අප්‍රේල් මස 23 වන දා පෙරවරු 11 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
අනතුරුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
2014 අපේ‍්‍රල් 07 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබේ.

Share with your friends :