මහ කන්නයට අදාළව මේ වනවිට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.
මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවරගෙන ඇත. නාඩු. සුදු නාඩු, රතු නාඩු, තම්බපු සහ කැකුළු සහල් මෙසේ නිකුත් කෙරේ.
පසුගිය 2019/ 20 මහ කන්නයේදී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 7,52,247 කි. ඉන් ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.19 කි. 2020 යල් කන්නයේදී ලැබුණු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.84 කි. ඒ දෙකෙහි එකතුව මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි.
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ වාර්ෂික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි. ලංකාවේ එක් පුද්ගලයකු වසරකට පරිභෝජනය කරන හාල් ප්‍රමාණය කිලෝ 107 කි. ඒ අනුව 2020 වසරේදී ලැබුණු අස්වැන්නේ තිබෙන්නේ අතිරික්තයකි. ඒ වී ප්‍රමාණය වසරේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය. ඒ ලැබුණු අස්වැන්න මාස 17 කට ප්‍රමාණවත් බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මතයයි.
2020 වී නිෂ්පාදනය 2017දී නිෂ්පාදනය කළ ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩිය. 2017 දී නිෂ්පාදනය කළ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.38 කි. එහෙත් 2020 සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5.03 කි. 2017 සිට 2020 දක්වා වූ කාලයේදී වැඩිම වී අස්වැන්නක් ලැබී තිබෙන්නේ 2020 දීය. ඒ වසරේදී ලැබුණු වී අස්වැන්න වසරේ අවශ්‍යතාවට වඩා වැඩිය. 2020/ 21 මහ කන්නය හෙවත් දැන් අස්වනු නෙළමින් පවතින මෙවර මහ කන්නයේදී වර්ෂාවද ප්‍රමාණවත් ලෙස ලැබිණි. විශාල භූමි ප්‍රදේශයක වී ද වගා කෙරිණි.
කෙසේ වෙතත් රටේ පරිභෝජනය අනුව මේ ප්‍රමාණය ඉතාම සුළු කාලයකට ප්‍රමාණවත් බව පැවසේ. මේ වන විට සාමාන්‍ය වෙළඳ පොලේ සහල් මිල දිගින් දිගටම ඉහල යමින් පවතී.