චීනය සමඟ ගනුදෙනු කරද්දී කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ගවුහර් රිස්වි ප්‍රකාශ කර තිබේ.
චීන ණය හේතුවෙන් මේ වන විට ශ්‍රීලංකාව හා ජිබෝටි යන රටවලට බලපෑම් ඇති කරන තත්වයකට පත්ව ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ International Business Times පුවත්පතට අදහස් දක්වමිනි.
දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ ‘ණය උගුලට’ හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.
චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි මෙහිදී සඳහන් කර තිබේ.
ජිබෝටි රාජ්‍යයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70 ක් දක්වාම චීනයට ඇති ණය ඉහල ගොස් ඇති බවද මෙයින් වැඩිම ප්‍රමාණයක් එරට ප්‍රවාහන අංශයට ගත චීන ණය බවද ඔහු පවසා තිබේ. ශ්‍රීලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීමට ලබා ගත ඩොලර් බිලියන 1.1 ක ණය ගෙවීමට නොහැකිවීම නිසා චීන සමාගමකට එය 99 අවුරුදු බද්දකට ලබා දී ඇතැයිද එම නිසා බංග්ලාදේශයේ නව වරායන් ඉදි කරන්නට චීනයට ලබා නොදෙන බවද ඔහු සඳහන් කර තිබේ. බංග්ලාදේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත් එරට නිදහස ලබා ගත්තේ විමුක්ති සටනකින් බවත් එම නිසා ණය ලබා ගැනීමේදී දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.