27 C
Colombo
23/09/2024

අපේක්ෂා රෝහලේ බංකරය තුල හෙදියන් සිරකර තැබීමේ සිද්ධියට විකිරණ ශිල්පියෙකු අත්අඩංගුවට

Share with your friends :

මහරගම අපේක්ෂා රෝහලේ ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලී බංකරය තුල එනම් බ්‍රැකී තෙරපි අංශයේ විකිරණ ශිල්පීන් දෙදෙනෙකු විසින් තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි විකිරණ ශිල්පියකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙදියන් දෙදෙනා විකිරණ ශිල්පින් දෙදෙනකුට එරෙහිව මහරගම පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඉන් එක් සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
පසුගිය 17 වැනිදා සවස් කාලයේ ප්‍රතිකාර සේවා නිමවීමෙන් පසු පසු දිනට නියමිත ප්‍රතිකාර කටයුතු සඳහා අදාළ අංශයේ කටයුතු සුදානම් කරමින් සිටි හෙදියන් දෙදෙනා අදාළ බංකරය තුල දමා පිටතින් අගුලු දමා විදුලියද විසන්ධිකර මෙම විකිරණ ශිල්පීන් දෙදෙනා පිටව ගොස් තිබිණි.
අදාළ සිද්ධිය යට ගැසීම සඳහා රෝහල් පරිපාලනය ගන්නා උත්සාහයට එහි හෙද කාර්ය මණ්ඩලය දැඩි විරෝධය පල කරන ලද අතර එම සිද්ධිය මාධ්‍ය ඔස්සේ වාර්තාවීමෙන් පසු ඇමතිවරිය අදාළ තීරණය ගෙන තිබේ.
බංකරය ඇතුලත ජංගම දුරකථන පවා වැඩ නොකරන අතර දැඩි කරුවලේ අධික විකිරණශීලී තත්වයනට නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා පැයක පමණ කාලයක් සිරවී සිට ඇත. මෙසේ වැඩි පැය ගනනක් විකිරණශීලී ද්‍රව්‍යයන්ට නිරාවරනය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක්, ජාන විකෘතිවීමක් හෝ භයානක රෝගී තත්වයන් පවා ඇතිවිය හැකි බව පෙන්වා දෙන හෙද කාර්ය මණ්ඩලය එවැනි තත්ත්ව එක්වරම පෙන්නුම් නොකරන අතර එවැනි දේ ඇතැම් විට වසරක් දෙකක් හෝ වසර ගණනාවකින් පෙන්නුම් කෙරන බවද කියා සිටිති.

Share with your friends :