27 C
Colombo
23/09/2024

ආණ්ඩුවට හිතවත් සමාගම්වලට අක්කර දහස් ගණන් රජයේ ඉඩම් දීලා-අනුර කුමාර දිසානායක

Share with your friends :

රජය මහා පරිමාණයෙන් සමාගම්වලට ඉඩම් ලබාදීම සිදු කර ඇතැයිද “ඇවන්ගාඩ් මැරිටයිම්’ පුද්ගලික සමාගමට අනුබද්ධ “ඇවන්ගාඩ් ඇග්‍රෝ” සමාගමට විදේශ විනිමය ඉතිරි කිරීම හා සිරකරු පුනරුත්ථාපනය සහ වෙනත් සමාජ ව්‍යාපෘති සඳහා ඉල්ලා තිබෙන අක්කර හතළිස් දාහෙන් නියමු ව්‍යාපෘතියක් හැටියට 5000ක් ලබා දී ඇතැයිද ,මේ වෙනුවෙන් ‘පොල්ලබැද්ද’ රක්ෂිත වනාන්තරයේ අක්කර 4,526ක රූස්ස වනාන්තර හෙළිකිරීමට සමාගම්වලට ලබා දී ඇතැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
වැඩි දුරටත් කතා කතා කල අනුර කුමාර දිසානායක මහතා ,
“‘ආර්.ජී.එන්. ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගමට අක්කර 1000ක් දීලා. ‘ඩී.එස්.ඩබ්. හර්බල් ප්ලාන්ටේෂන්’ පුද්ගලික සමාගමට අක්කර 100ක් දීලා. ‘ඩෙල්මා චිකන් ඇන්ඩ් ඇග්‍රෝ’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ‘පුස්සැල්ල මීට් ප්‍රඩක්ෂන්’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට පොල්ලබැද්දෙන් අක්කර 150යි. ‘මොරගොඩ ඇග්‍රෝ සර්විස්’ පුද්ගලික සමාගමට අක්කර 500ක් දීලා. ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක් ‘බුකර්ටේට්’ සමාගමට දෙන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා. දැන් ආපහු වෙන සමාගමකට ලබාදෙන්න කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා. පොළොන්නරුව ත්‍රිකෝණමඩුව අක්කර 8,500ක් දෙන්න යනවා. විල්පත්තුව පරිවාර වනාන්තරවල අක්කර 1,500ක් කෝමාරිකා වගාකරන්න දෙනවා.
මේ ඉඩම් ලබා දෙන්නේ ඈත ගොවි ජනපදවල තුන්වැනි පරම්පරාවේ ගොවි දුවාදරුවන්ට ගෙයක් හදාගන්න හෝ ගොවිතැනක් බතක් කරගන්න නොවෙයි,
මේ ගොවි ජනතාවට ඉඩම් ලබාදීම් හෝ දර කෑල්ලක් කඩා ගැනීමට හෝ ලී දණ්ඩක් කපාගැනීම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. පාරම්පරික ගොවි ජනතාව පදිංචි වී සිටින ගම්මානවල, ජල පෝෂක ප්‍රදේශවල, අලි සහ අනෙකුත් සතා සිවුපාවුන් ජීවත්වන ප්‍රදේශ විනාශයක්. මේ වගේ අක්කරය රුපියල් 1000/ක බදු කුලියට දෙන්නේ. අක්කර 1000ක් ගන්න රුපියල් ලක්ෂ දහයයි. මේ ඉඩම් ලබාදෙන්නේ මෙහෙමයි. ජනාධිපතිවරයා කියන ගමේ ජනතාවගේ හේන් වගා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ. මේ ජනතාවට ආර්ථික වශයෙන් කිසිම ප්‍රතිලාභයක් නැතිව කොම්පැනිවල කම්කරුවෝ බවට පත්කරන ව්‍යාපෘති මේවා. පාරම්පරික ගොවිතැන අහිමිවෙන ගොවි ජනතාව කුලී ජනතාව බවට පත්කිරීම අවසන් ප්‍රතිඵලයයි. තමන්ට ඡන්දවලට උදව් කළ, අයගේ කොමිස්වලට, පගාවලට මේ රටේ පරිසරය අක්කර දහස් ගණනක් බිලිදීමේ විනාශය ගැනයි අපි කතාකරන්නේ. දේශපාලකයන්ට විවිධ වර්ගයේ තුටුපඬුරු බෙදන සමාගම්වලට අක්කර දහස් ගණනක් ඩෝසර් කරන්න අවසර දීලා තිබෙනවා. වටිනා පාරිසරික පද්ධති ආසන්නයේ හෝටල් ඉදිකරන්න අවසර දීලා තිබෙනවා. මෙතන තිබෙන්නේ මහ විනාශයක් මිස නිදහස් චතුරස්‍රයේ ගස් හිටුවීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපේ රටේ වටිනා ජල පෝෂක ප්‍රදේශ සහ විශාල වනාන්තර ප්‍රමාණයක් කොම්පැනිකාරයන්ට ලබාදෙමින් කරන ලද විනාශය පිළිබඳව අපි අපේ විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා. ලෝක ජල දිනයේදී කොළඹ නගරයේ අපි විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම්කර තිබෙනවා. “හුස්ම පොද රැකගන්න, කොළඹට එන්න” කියලා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේ පාරිසරික විනාශය වැළැක්වීම සඳහා ජනතාවට ආරාධනා කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි දියත් කර තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ නායකත්වයෙන් රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත් වූවා. පරිසරය පක්ෂ, පාටවලට අයිති දෙයක් නොවෙයි. ශ්‍රී ලංකා, ජේවීපී, යූඑන්පී ලෙස හෝ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ පරිසරය දෙස බලන්න එපා කියලා ආරාධනා කරනවා ” වැඩිදුරටත් පැවසීය.

Share with your friends :