27 C
Colombo
23/09/2024

ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර ස.ජ.බ හා එ.ජා.ප සමගි කරවන්න සාකච්ඡා

Share with your friends :

ලබන ජුනි මාසයේ හෝ ජුලි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වන විට රජය ගෙන ඇති තීරණය හමුවේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සමගියක් ඇති කිරීමට දෙපාර්ශවයේම ප්‍රබලයන් කුඩා කණ්ඩායම් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර තිබේ. දෙපාර්ශවය එක් වුවහොත් පළාත් කීපයක හෝ බලය ලබා ගැනීමට හැකි බව දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.
කෙසේ වෙතත් දැනට දෙපාර්ශවයේම නායකයන් දැඩි ස්ථාවරවල සිටින අතර මේ නිසා අඩුම තරමින් දෙපාර්ශ්වයේම පිරිස් එක ලැයිස්තුවක් යටතේ තරග කරවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ පිරිස් අතර සාකච්ඡා ආරම්භවී තිබේ. එහෙත් ඒ ඒ පළාත්වල මහ ඇමති අපේක්ෂකයන් හා දිස්ත්‍රික් නායකයන් තෝරා ගැනීමේදී දෙපාර්ශ්වයේම පිරිස් ඒ සඳහා තරග කිරීම නිසා මෙම සාකච්ඡා වලදී ගැටළු ඇතිවී තිබේ.
මේ අතර බස්නාහිර පළාත් මහා ඇමති ධුරය සඳහා සියලු පාර්ශව වල එකඟත්වයෙන් කරු ජයසුරිය මහතා ඉදිරිපත් කිරීමට දෙපර්සවයේම කණඩායම් අතර කිසියම් එකඟතාවයක් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී කරු ජයසුරිය මහතා සාකච්ඡා කරන්නට නියමිතය. මේ සඳහා කරු ජයසුරිය මහතා එකඟවේදැයි තවමත් පැහැදිලි නැත. එසේම මෙවර පළාත් සභා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය අජිත් පී. පෙරේරා මහතාටත් , කොළඹ දිස්ත්‍රික් නායකත්වය සුජීව සේනසිංහ වෙතටත් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.
මේ අතර උතුරු මැද පළාත සඳහා මහා ඇමති අපේක්ෂිකාව ලෙස චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ නම යෝජනා වී තිබේ. දකුණු පළාත් සඳහා වජිර අබේවර්ධන මහතාගේ නමද , වයඹ පළාත සඳහා මහඇමති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයකු මෙන්ම හිටපු ඇමතිවරයකු හා සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු වන උපාලි පියසෝම මහතාගේ නම යෝජනාවී තිබේ. ඌව පළාත සඳහා රවීන්ද්‍ර සමරවීර, සබරගමුව පළාත සඳහා කරුණාරත්න පරණවිතාන හා ඒ.ඒ. විජේතුංග යන මහත්වරුන්ගේ නම්ද , මධ්‍යම පළාත සඳහා රන්ජිත් අලුවිහාරේ මහතාගේ නමද මහා ඇමති අපේක්ෂකයන් ලෙසට යෝජනාවී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව තවමත් අවසන් සාකච්ඡා පවත්වා නොමැත.
මේ අතර උතුරු හා නැගෙනහිර පළාත් සඳහා දෙමල හා මුස්ලිම් පක්ෂ සමග ඒකාබද්ධව තරග කරන්නට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සුදානමින් සිටින අතර එම නිසා නැගෙනහිර පළාත සඳහා මුස්ලිම් පක්ෂයක් වෙත හා උතුරු පළාත සඳහා දෙමල පක්ෂයක් වෙත මහ ඇමති තනතුරු ලබා දීමට නියමිතය.

Share with your friends :