පසුගිය වසරේ නොවැම්බර් – දෙසැම්බර් මාසවල හම්බන්තොටදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචන නෙරංජන සිල්වා මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත්තේ අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර නොමැති බැවින් එම අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවත්, එය නැවත ඉදිරිපත් කරන ලෙසත්ය.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින අතර එල්.පී.එල්. තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ක්‍රීඩා පනත හා සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා අංක 24 යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. මෙම පනත යටතේ යමෙකු වැරදිකරු වුවහොත් ඔවුන්ට රු. 500,000 හෝ අවුරුදු 10 ක සිර දඬුවමක් නැතහොත් ඒ දෙකම පැනවිය හැකිය.
මෙම පරීක්ෂණය අවසන් වන තුරු සේනානායකව සිංහල ක්‍රීඩා සමාජයෙන් ඉවත් කර ඇත.