මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රීලංකාට එරෙහි ඇති යෝජනාවලිය සඳහා සහය දෙන රටවල් හා ඊට සහය නොදෙන රටවල් ලෙස කණ්ඩායම් දෙකක් මේ වන විට දක්නට ලැබේ. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක් තිබෙන අතර ඒ අතරින් ඇතැම් රටවල් ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටින බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ දැනට සිටින රටවල් 47 වන්නේ ප්‍රංශය,එක්සත්රාජධානිය,ජර්මනිය,නෙදර්ලන්තය ඔස්ට්‍රියාව.ඩෙන්මාර්කය,ඉතාලිය,බොලීවියාව,කියුබාව,මෙක්සිකෝව,බ්‍රසීලය,වෙනිසියුලාව,ආර්ජන්ටිනාව,බහමාස්,උරුගුවේ,රුසියාව,යුක්රේනය,පෝලන්තය,බල්ගේරියාව,චෙක්ජනරජය,චීනය,නේපාලය,පකිස්ථානය,උස්බෙකිස්තානය,ආර්මේනියාව,ඉන්දුනීසියාව,ජපානය,මාර්ෂල්අයිලන්ඩ්ස්,දකුණුකොරියාව,බහරේන්,බංගලාදේශය,ෆීජි,ඉන්දියාව,පිලිපීනය,කෝට් ඩිවාර්, ගැබෝන්,මලාවි,සෙනෙගල්,ලිබියාව,මුරුටානියා,සුඩානය,නැමීබියාව,බුර්කනා පාසෝ,කැමරූන්,එරිත්‍රියාව,සෝමාලියාව හා ටෝගෝ යන රටවල්ය.
මෙහි සාමාජික රටවල් අවුරුදු තුනක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී තෝරා ගැනේ.කිසිදු රටකට අඛන්ඩව වාර දෙකකට වඩා මෙහි සාමාජිකත්වය දැරිය නොහැක. එනම් වසර තුනෙන් තුනට සාමාජිකත්වය වෙනස් වන අතර එකපිට දෙවාරයක් පමණක් සාමාජිකත්වය දැරිය හැක්කේද මහා මණ්ඩලයේ ඡන්දයෙනි. සාමාජිකත්වය බෙදී යන්නේද කලාප අනුවය. ඒ අප්‍රිකානු කලාපයට 13ක් , ආසියානු කලාපයට 13 ක් ,නැගෙනහිර යුරෝපයට 6 ක්,ලතින් ඇමරිකාවට හා කැරිබියන් රටවල් සඳහා 8 ක් හා බටහිර යුරෝපයට 7 ක් ලෙසටය.දැනට එහි සභාපති ධුරය දරන්නේ ෆීජි දුපතෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය වන නසාත් ශමීම් මහත්මියයි.ඇය ප්‍රවීණ විනිසුරුවරියකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ලෙස මේ වන විට කටයුතු කරන්නේ මිෂෙල් බැෂලේය. ඇය චිලී රාජ්‍යයේ ජනාධිපතිවරිය ලෙස දෙවරක්ම කටයුතු කර ඇති පළපුරුදු දේශපාලනඥයෙකි.එරට ප්‍රථම ජනාධිපතිනිය වුයේද ඇයයි.කෙසේ වෙතත් මේ වන විට ඇය ශ්‍රීලංකාවට එරෙහිව කටයුතු කරන බවට චෝදනා එල්ලවෙමින් පවතී.
මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් පවසා තිබිණි.
මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විශ්වාසනීයත්වයෙන් යුතු චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කොට ඔවුන්ට සංචාරක තහනම් පැනවීමට ද ක්‍රියා කළ යුතු බවද ඇය ප්‍රකාශ කර තිබේ.පසුගිය කාලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවද , රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි අනතුරුදායක ප්‍රවණතා පසුගිය වසරේ දක්නට ලැබුණු බව ඇය සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
නව රජයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීම ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පෙන්වාදී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර එමගින් ආපසු හැරී ඇති බවය.
එමඟින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්ව තිබේ.
සන්නද්ධ යුද්ධය අවසන් වී වසර 12ක් ගත වූවද, දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධවූවන්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර, එවැනි පරීක්ෂණ හා නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටින බවද එමඟින් පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමක් සිදුවන බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කර ඇත.ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත්කර ඇති බව ඇය සඳහන් කර ඇත.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් දෙදෙනා යුද්ධයේ අවසන් අදියරේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ලෙස ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තාවල සඳහන් වී ඇති බව ඇය පවසා තිබේ.
යුද්ධය අවසන් වී වසර 12 කට පසුවද දේශීය යාන්ත්‍රණයන් තුළින් ප්‍රතිඵලදායක වගවීමක් හෝ සංහිඳියාවක් ගොඩනැගීමට රජය අසමත් වී ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව මගින් ප්‍රකාශ කර ඇත.
මානව හිමිකම් උල්ලංඝන චෝදනා ඇති පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසටද ,මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසටද , සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්නා ලෙසටද මහ කොමසාරිස්වරිය සිය වාර්තාවෙන් දැනුම්දී තිබිණි.
මේ අතර ශ්‍රීලංකා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.
සැසිවාරය ඇමතූ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා
“මේ අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ.දශක තුනක්තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ වීරෝදාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළේය.ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට සිය භීෂණය ව්‍යාප්ත කරමින්, ලෝක නායකයින් දෙදෙනෙකුඑනම්, ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටිජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්ටීටීඊයයි.
ත‍්‍රස්තවාදය අවසන්කිරීම මඟින්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සියලු අයිතිවාසිකම් අතර වඩාත්ම අගය කරන – ජීවන අයිතිය සහතික කරන ලදී.
එසේ වුවද, ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, එය අදටත් ශ්‍රී ලංකාවසමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත් කරන ලදී. හුදු දේශපාලන අභිප්‍රායන් මත තවදුරටත් යෝජනා මෙම සභාවට ඉදිරිපත් කරන ලදී. එම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව විසින් කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේද යන්න ඉදිරිපත් කරන ලදී.
2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය, මානව හිමිකම් සංසදවල දීපෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහි 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ විය. එය එවකට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළ ක්‍රියාවකි. 30/1යෝජනාවෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශියක් අඩංගු විය. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය.
ශ්‍රී ලංකා ජනතාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම2019 නොවැම්බර් මාසයේ දී අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම මගින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම ජනවරම මත පදනම්ව, මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකාව එමයෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශ කළෙමි. තවද, මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ දිගටම සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද මම ප්‍රකාශ කළෙමි.
පවත්නා යාන්ත්‍රණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන්යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව අපි 2020 දෙසැම්බර් මාසයේ දී මෙන්ම 2021 ජනවාරි මාසයේ දී ද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී ඇත.
පසුගිය වසර පුරා ශ්‍රී ලංකාවකොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුව ද අපි 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත්කර ගත්තෙමු.
මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේවාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත.
මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයින්ට භාර කරමි. විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැක.
මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගත යුතුය. කටකථා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතුය. මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවනු ලබන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකිය.මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙය පසුගිය වසර සියය තුළ දී එළැඹි මුළු ලෝකයම සඳහා තීරණාත්මක කාලයකි. කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීමට හා බැට කෑ ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමට අප ගන්නා උත්සාහයන් තුළ දී අප එක්සත් විය යුතුය. මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතාවන් හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි. මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කර ගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අපි විශ්වාස කරමු.
පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ,මෙම කවුන්සිලය තුළපවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි. ඉහත දක්වා ඇති තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට,එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු “ යනුවෙන් ප්‍රකාශ කළේය.
එසේම මේ වන විට ශ්‍රීලංකාවට එරෙහි ජිනීවා චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා සාමාජික රටවල් වෙත යලිත් වරක් අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින් ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සිය ස්ථාවරය මේ වන විට ප්‍රකාශ කර ඇත. ඒ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රටවල් 38ක් සිය ස්ථාවරය ප්‍රකාශ කළ අවස්ථාවේදීය. ශ්‍රීලංකාවට පක්ෂපාතිත්වය දැක්වූ රටවල් අතරින් ඇතැම් රටවල් මේ වන විට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන්නේ නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්කර ඇති වාර්තාව සම්බන්ධයෙන් මේ වන විට රටවල් 38ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කර තිබුණි.
එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය,අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළකර තිබුණි. මේ රටවල් අතරින් අමෙරිකා එක්සත් ජනපදය,නෝර්වේ,කැනඩාව,ස්විට්සර්ලන්තය, බෙල්ජියම,අයර්ලන්තය යන රටවල්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන්නේ නැත.
මේ අතර ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමින් අදහස් පළකිරීම විශේෂත්වයකි. මේ රටවල් දෙක ශ්‍රීලංකාවට විරුද්ධව කිසිදු විටෙක කටයුතු කරන්නේද නැත.
චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව, කියුබාව, ලාඕසය, වියට්නාමය, පිලිපීනය ඇතුලු රටවල් 21ක් මහකොමසාරිස්වරියගේ වාර්තාවට එකඟ නොවන ස්ථාවරයක සිටිමින් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් පළකළ අයුරු දැකගත හැකිවිය.මේ අය අතරින්ද වියට්නාමය,ඉරානය, ලාඕසය,සිරියාව යන රටවල් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන්නේ නැත.
එහෙත් මේ සියලු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන අතර එහි මහා මන්ඩලයේ සාමාජිකත්වය දරනු ලබයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ගෙන එන යෝජනා වලට කිසිදු රටකට නිශේධ බලය හිමි නොවන අතර ඇමරිකා එක්සත් ජනපදය,ප්‍රංශය,එක්සත් රාජධානිය,චීනය හා රුසියාවට නිශේධ බලය හිමිවන්නේ මහා මණ්ඩලයේදීය.මානව හිමිකම් කවුන්සිලයේදී වැඩි ඡන්දයෙන් යෝජනා සම්මත කල හැක. එම නිසා මහා මණ්ඩලයේදී ශ්‍රීලංකාවට එරෙහි යෝජනාවක් නිශේධ කිරීමට චීනයට හැකි වුවද මානව හිමිකම් කවුන්සිලයේදී එසේ කල නොහැක. මහා මණ්ඩලයේදී එවැනි යෝජනා නිශේධනය වන බව දන්නා විට මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මත පදනම කරගෙන ඒ ඒ රටවල් විසින් අදාළ රටට එරෙහිව සම්බාධක පැනවීම අවශ්‍ය නම් කල හැකිය. එම නිසා ශ්‍රීලංකාව කල යුත්තේ මානව හිමිකම් කවුන්සිලයේ දැනට සාමාජිකත්වය දරන රටවල් වෙත ගොස් ඒවායේ සහය ඉල්ලීමය.
මෙහිදී ඇමරිකාව මෙහි වර්තමාන සාමාජිකත්වය නොදැරුවද ඊට සෙසු සාමාජික රටවලට කල හැකිබලපෑම ඉතා විශාලය. ඒ ආකාරයටම චීනයටද අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කල හැකිය.
එසේම අසල්වැසි ඉන්දියාවට ආසියානු කලාපයේ රටවල් වලට වැඩිම බලපෑමක් කල හැකි රටය. ජපානයද එලෙසය.මේ නිසා මේ අවස්ථාවේ අපට ගත හැකි සියලු ජාත්‍යන්තර සහය රටක් ලෙස අප ලබා ගත යුතුව තිබේ. එසේ නොමැතිව දේශීය වශයෙන් විවිධ දේශපාලනඥයින් ලවා රටේ ජනතාව පිනවන්නට යාමෙන් සිදුවන්නේ ප්‍රශ්නය අවුල් වීමය. ආණ්ඩුවේ සමහරුන් හිතන්නේ තවමත් ඔවුන් ඉන්නේ විපක්ෂයේ කියාය. විපක්ෂයේ සිටින විට කියන සටන් පාඨ ආණ්ඩුවේ සිට කියන්නට යාමෙන් රෙදි ගැලවෙන්නේ ආණ්ඩුවේ බව මේ බොහෝදෙනාට වැටහෙන්නේ නැත.අද ශ්‍රීලංකාවට ජාත්‍යන්තරයේ ඇති ප්‍රශ්න බොහෝමයකට හේතුවී ඇත්තේත් මෙයමය.
මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් එළිදැක්වු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාලසටහනක් එළිදක්වන්නැයි අමෙරිකා එක්සත් ජනපදය 46 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබු වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී විවාදයට ගැණුනු අතර
එහිදී අමෙරිකා විසින් ශ්‍රී ලංකාවෙන් අදාළ ඉල්ලීම කර තිබුණි.
“අමෙරිකාව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පෙන්වා දී ඇති කරුණු සමග එකඟ වෙනවා වගේම ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා, වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කාලරාමුවක් සහ ක්‍රමෝපායික සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස. සුළු ජාතීන්ව වෙන්කොට සැලකීම ඉහළයාම පිළිබඳව අපි කණස්සල්ල පළකරනවා වගේම නිදහස් ජනමාධ්‍ය ඇතුලුව සිවිල් සමාජයට හිමිවී ඇති ඉඩකඩ ඇහිරෙමින් පැවතීම ගැනද කණස්සල්ල පළකරනවා. වගවීමේ යාන්ත්‍රණයේ ඇති අඩුපාඩු වගේම ඉහළ තනතුරුවලට චෝදනා ලත් හමුදා නිලධාරීන් පත්කිරීම පිළිබඳවත් අපි කණස්සල්ල පලකරනවා,” යනුවෙන් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ඩැනියෙල් ක්‍රොනේෆෙල්ඩ් පවසා තිබුණි.
මේ අතර සැසිවාරය අමතමින් චීනය ප්‍රකාශ කළේ මානව හිමිකම් මුවාවෙන් රටවල අභ්‍යන්තර ගැටලුවලට මැදහත්වීමට විරුද්ධ වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මහ කොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බවය.
චීන නියෝජිත චෙන් ෂූ පවසා සිටියේ, “මානව හිමිකම් ගැටළු දේශපාලනීකරණය කිරීම සහ ඇතැම් රටවලට වෙනස් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් චීනය විරුද්ධ වන බව අපගේ ස්ථාවරයයි. ඒ වගේම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම පිළිබඳව ද අපි විරුද්ධයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව තුළ අපක්ෂපාතිභාවයේ ඇති දැඩි අඩුපාඩු පිළිබඳව අපි කණස්සල්ලට පත්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය ලබාදී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු නොකිරීම පිළිබඳවත් අපි කණගාටුව පළ කරනවා. මහකොමසාරිස් කාර්යාලය විසින් යෝජනා කරඇති සම්බාධක පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට පැවරී ඇති සීමාවන්ද ඉක්මවා ගොස් කටයුතු කර තිබෙනවා.”ලෙසය.
මේ අතර ඉන්දීය නියෝජිත ඉන්ද්‍ර මනී පාන්ඩේ අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස පහත යෝජනා පිළිබද සාකච්ඡා සඳහා ඉන්දියාව ක්‍රියාකාරී දායකත්වයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පහත කරුණු දෙක මත රඳා පවතිනවා. ඒ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සහය ලබාදීම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය යන අභිලාෂයන් වෙනුවෙන් කැපවීම,අර්ථවත් බලය බෙදා හැරීමක් හරහා දමිළ ප්‍රජාවේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාව සෘජුව දායකවන බව අපි විශ්වාස කරන්නෙමු. එම නිසා දෙමළ ප්‍රජාවේ නීත්‍යානුකූල අභිලාෂයන් ඉටු කිරීමටශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව දන්වා සිටින අතර ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව එම අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් පාන්ඩේ සඳහන් කර තිබේ.
මේ අනුව ඇමරිකාව,ඉන්දියාව හා චීනය යන රටවල අදහස පැහැදිලිය. ඒ අනුව අපට යම් කාලරාමුවක් ලබාදී මේ ප්‍රශ්නයට යම් කාලයක් ලබා ගත හැකි වනු ඇත. එහෙත් ඉන්පසුව බටහිර රටවලට ගරහමින් දේශීයව රටේ ජනතාව ප්‍රමෝදයට පත් කරන්නට කටයුතු කළහොත් රටක් ලෙස අප වැටෙන්නේ විශාල ගැටළු රැසකටය. එම නිසා කිසියම් කාලයක් ලබා ගෙන අවම වශයෙන් කල හැකිදේ හෝ සිදු කිරීම කළයුතුව තිබේ.
www.channelnewslanka.com