ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් එළිදැක්වු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාලසටහනක් එළිදක්වන්නැයි අමෙරිකා එක්සත් ජනපදය 46 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබු වාර්තාව මානව හිමිකම් සැසිවාරයේදී විවාදයට ගැණුනු අතර
එහිදී අමෙරිකා විසින් ශ්‍රී ලංකාවෙන් අදාළ ඉල්ලීම කර තිබුණි.
“අමෙරිකාව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පෙන්වා දී ඇති කරුණු සමග එකඟ වෙනවා වගේම ශ්‍රී ලංකා රජයට අවධාරණය කරනවා, වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය කාලරාමුවක් සහ ක්‍රමෝපායික සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස. සුළු ජාතීන්ව වෙන්කොට සැලකීම ඉහළයාම පිළිබඳව අපි කණස්සල්ල පළකරනවා වගේම නිදහස් ජනමාධ්‍ය ඇතුලුව සිවිල් සමාජයට හිමිවී ඇති ඉඩකඩ ඇහිරෙමින් පැවතීම ගැනද කණස්සල්ල පළකරනවා. වගවීමේ යාන්ත්‍රණයේ ඇති අඩුපාඩු වගේම ඉහළ තනතුරුවලට චෝදනා ලත් හමුදා නිලධාරීන් පත්කිරීම පිළිබඳවත් අපි කණස්සල්ල පලකරනවා,” යනුවෙන් අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ඩැනියෙල් ක්‍රොනේෆෙල්ඩ් පවසා තිබුණි.
මේ අතර සැසිවාරය අමතමින් චීනය ප්‍රකාශ කළේ මානව හිමිකම් මුවාවෙන් රටවල අභ්‍යන්තර ගැටලුවලට මැදහත්වීමට විරුද්ධ වන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ මහ කොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකරන බවය.
චීන නියෝජිත චෙන් ෂූ පවසා සිටියේ, “මානව හිමිකම් ගැටළු දේශපාලනීකරණය කිරීම සහ ඇතැම් රටවලට වෙනස් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් චීනය විරුද්ධ වන බව අපගේ ස්ථාවරයයි. ඒ වගේම මානව හිමිකම් ප්‍රශ්න මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම පිළිබඳව ද අපි විරුද්ධයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව තුළ අපක්ෂපාතිභාවයේ ඇති දැඩි අඩුපාඩු පිළිබඳව අපි කණස්සල්ලට පත්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය ලබාදී ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු නොකිරීම පිළිබඳවත් අපි කණගාටුව පළ කරනවා. මහකොමසාරිස් කාර්යාලය විසින් යෝජනා කරඇති සම්බාධක පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට පැවරී ඇති සීමාවන්ද ඉක්මවා ගොස් කටයුතු කර තිබෙනවා.”ලෙසය.
මේ අතර ඉන්දීය නියෝජිත ඉන්ද්‍ර මනී පාන්ඩේ අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස පහත යෝජනා පිළිබද සාකච්ඡා සඳහා ඉන්දියාව ක්‍රියාකාරී දායකත්වයක් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පහත කරුණු දෙක මත රඳා පවතිනවා. ඒ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සහය ලබාදීම, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය යන අභිලාෂයන් වෙනුවෙන් කැපවීම,අර්ථවත් බලය බෙදා හැරීමක් හරහා දමිළ ප්‍රජාවේ අයිතිවාසිකම්වලට ගරු කිරීමට ශ්‍රී ලංකාව සෘජුව දායකවන බව අපි විශ්වාස කරන්නෙමු. එම නිසා දෙමළ ප්‍රජාවේ නීත්‍යානුකූල අභිලාෂයන් ඉටු කිරීමටශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව දන්වා සිටින අතර ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව එම අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් පාන්ඩේ සඳහන් කළේය.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ගෙන එන යෝජනා වලට කිසිදු රටකට නිශේධ බලය හිමි නොවන අතර ඇමරිකා එක්සත් ජනපදය,ප්‍රංශය,එක්සත් රාජධානිය,චීනය හා රුසියාවට නිශේධ බලය හිමිවන්නේ මහා මණ්ඩලයේදීය.මානව හිමිකම් කවුන්සිලයේදී වැඩි ඡන්දයෙන් යෝජනා සම්මත කල හැක. එම නිසා මහා මණ්ඩලයේදී ශ්‍රීලංකාවට එරෙහි යෝජනාවක් නිශේධ කිරීමට චීනයට හැකි වුවද මානව හිමිකම් කවුන්සිලයේදී එසේ කල නොහැක. මහා මණ්ඩලයේදී එවැනි යෝජනා නිශේධනය වන බව දන්නා විට මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව මත පදනම කරගෙන් ඒ ඒ රටවල් විසින් අදාළ රටට එරෙහිව සම්බාධක පැනවීම අවශ්‍ය නම් කල හැකිය.