27 C
Colombo
24/11/2024

නුවර ගැටුමට හිටපු ලක්සල සභාපති සුජීව හා 12 ක් රිමාන්ඩ්-ඇමති බිරිඳගේ ඥාතියෙකුත් හවුල්

Share with your friends :

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුමකින් පසු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලක්සල හිටපු සභාපති සුජීව පල්ලියගුරුගේ ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ලබන මාර්තු 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා නියෝග කර තිබේ.
ලක්සල හිටපු සභාපති සුජීව පල්ලියගුරුගේ මහනුවර ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයකු වන අතර හෝටල් කීපයක හිමිකරුවෙකි.ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම දෙපිරිස අතර ගැටුම සිදුව තිබේ.මෙම ගොඩනැගිල්ලේ සුජීව පල්ලියගුරු යන අය විසින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් මුදල් ගනුදෙනු ප්‍රශ්නයක් මුල්කර ගෙන එහි පෙර හිමිකරු ඇතුළු කණ්ඩායමක් ගොඩනැගිල්ලේ පහත මහළේ රැඳී සිටි ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගොඩනැගිල්ලේ පෙර හිමිකාර පාර්ශවයේ අයෙකුද සිටින අතර ඔහුට අයුතු ඇතුළුවීම යන චෝදනාව යටතේ නඩු පැවරීමට නියමිතය.
මේ අතර අදාළ ගැටුමෙන් තුවල ලත් දෙදෙනෙකු කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත.
සුජීව පල්ලියගුරුගේ නැමැති අය ඩිෆෙන්ඩර් රථයකින් හා තවත් වාහනයකින් එම ස්ථානයට පැමිණ පහත මහළේ රැඳී සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී ඇත.දෙපිරිස අතර ඇතිවූ ගැටුමින් ගොඩනැගිල්ලටද හානි සිදුව ඇත.පහරදීම,අයුතු ජනරාශිය,සාපරාධී බලහත්කාරය,දේපොළ වලට හානි සිදු කිරීම,අයුතු ඇතුළු වීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව පොලීසිය පවසයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.උවින්දසිරි මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලදී. මේ අතර සිද්ධියට සම්බන්ධ එක පාර්ශවයක් වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බිරිඳගේ ලඟම ඥාතිවරයෙක් බවද පැවසේ.

Share with your friends :