27 C
Colombo
25/11/2024

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් ලයිස්තුගත කිරීමට හැකි සමාගම් නිළධාරීන්ට වැඩමුළුවක්

Share with your friends :

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලයිස්තුගත කිරීමට උනන්දුවක් ඇතිකිරීමේ අදහසින් ලයිස්තුගත කිරීමේ වැදගත්කම සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තෝරාගත් පුද්ගලික සමාගම් කිහිපයක ප්‍රධාන මූල්‍ය නිලධාරීන් (CFO) දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) පසුගියදා පවත්වනු ලැබිණ.
සමාගම්වලට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම සඳහා සුදුසුම ස්ථානය බවට ප්‍රාග්ධන වෙළෙඳපොළ පත්කිරීමේ කිරීමේ අරමුණින් සහ වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ප්‍රාග්ධන වෙළෙඳපොළේ සියලුම පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩ සාකච්ඡා පවත්වනු ලබයි.
පසුගිය වසර කිහිපය තුළ කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇත්තේ සමාගම් කිහිපයක් පමණක් වන අතර එය වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පහළ මට්ටමක පැවතීමට හා සාපේක්ෂව වෙළෙඳපොළ විශාලත්වය කුඩාවීමට එක් හේතුවක් ලෙස සැලකේ. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෑතකදී සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා නව නීතිමය රාමුවක් අනුමත කර ඇති අතර, ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේදී කොළඹ කොටස් හුවමාරුවට පූර්ණ ස්වාධීනත්වයක් ද ලබාදෙන ලදි. එසේම ලැයිස්තුගත කිරීම් ඉහළ නැංවීම දිරිගන්වමින් ලැයිස්තුගත කිරීමේ රීති ලිහිල් කිරීමට ද පියවර ගනු ලැබිණ.
මෙම සාකච්ඡාවේ මුලික පරමාර්ථය වූයේ දැනට කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත නොමැති සමාගම් වලට ලයිස්තුගතවීමේ වාසි පිළිබඳව දැනුවත් කිරීමක් ලබාදීම හා විශේෂයෙන්ම 2021 දෙසැම්බර් 31 ට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වන සමාගම්වලට 2021 වර්ෂය සඳහා වන රජයේ අයවැය තුළින් ලබාදීමට යෝජනා කර ඇති බදු සහන වැනි ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමයි.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා රැස්ව සිටි පිරිස පිළිගනිමින් අදහස් දැක්වීමක් කළ අතර, විශේෂයෙන් වර්තමාන ධනාත්මක වෙළෙඳපොළ වාතාවරණය තුළ, ලයිස්තුගත කිරීමේ වාසි ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කළේය. එසේ සමාගමක් ලයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් කරදරකාරී හෝ මිල අධික ක්‍රියාවලියක් නොවන බව ද හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන ලදි. එමෙන්ම මෙම පණිවුඩය තම සමාගම්වල අධ්‍යක්ෂකවරුන් වෙත ගෙන යන ලෙස ද ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන නියාමන නිලධාරි (CRO) රේණුක විජයවර්ධන මහතා සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ, කොමිෂන් සභා සාමාජිකයින් වන මනිල් ජයසිංහ සහ නරේෂ් අබේසේකර යන මහත්වරුන් විසින් ද ලයිස්තුගත කිරීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රාශියක් ඉදිරිපත් කරනු ලැබිණි.
විජයවර්ධන මහතා ලැයිස්තුගත කිරීම සඳහා තිබිය යුතු අවශ්‍යතා සහ ක්‍රියාදාමයන් ගෙනහැර දැක්වූ අතර සමාගම්වලට අරමුදල් රැස් කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම ආකර්ශනීය විකල්පයක් වන්නේ කෙසේදැයි ජයසිංහ මහතා විස්තරාත්මකව පැහැදිලි කළේය. එමෙන්ම සමාගමකට ප්‍රාග්ධනය රැස් කර ගැනීමට හැකි වෙනත් ක්‍රමවලට වඩා ප්‍රාග්ධනය රැස් කිරීමේ මෙම ක්‍රමය වඩා වාසිදායක වනුයේ මන්දැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නරේෂ් අබේසේකර මහතා අදහස් දක්වමින් නුදුරු අනාගතයේදී ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා ඩිජිටල්කරණ පහසුකම් භාවිතා කළ හැකි ආකාරය සහ ලයිස්තුගත සමාගම්වලට කොළඹ කොටස් හුවමාරුව විසින් අළුතින් හඳුන්වාදුන් “මොබයිල් ඇප්” එක තුළින් ලබා ගත හැකි ප්‍රතිලාභ පෙන්වා දුන්නේය.

Share with your friends :