27 C
Colombo
24/11/2024

2021 ඉන්දියන් IPL වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 9 ක්

Share with your friends :

2021 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අවසන් ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක් ඇතුලත්ව සිටිති. ඒ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති එම ක්‍රීඩකයන් තිදෙනකු සිටීම විශේෂත්වයකි. ලංකා ප්‍රීමියර් ලීග් සහ අබුඩාබි ටී 10 යන තරගාවලිවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔවුන්ව IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා තෝරාගෙන තිබේ. මේ ක්‍රීඩකයන් තෝරා ගනිද්දී ශ්‍රීලංකා ජාතික ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන ඇතැම් ක්‍රීඩකයන් ඊට තෝරා නොගැනීම විශේෂත්වයකි.
ශ්‍රීලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දිගින් දිගටම ගැටළු පවතී. ශ්‍රීලංකාවේ බිහිවන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකට තම පාසල හෝ ක්‍රීඩා සමාජය හෝ වාසය කරන ප්‍රදේශය නිසා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් නොලැබෙන අවස්ථා බොහෝය.
මේ සඳහා තෝරා ගෙන ඇති ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන්නේ තිසර පෙරේරා, කුසල් පෙරේරා, ඉසුරු උදාන, දසුන් ශානක, දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන්ය. ඔවුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වෙන්දේසි මුදලක් නියම කර ඇත.
ජාතික කණ්ඩායම නියෝජනය නොකරන කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයන්ට නියම කර ඇති මූලික වෙන්දේසි මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 20කි.
පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට සූදානම්කර ඇති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1097 දෙනෙක් ලියාපදිංචි වී සිටි අතර ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙක් ඇතුළත් විය.තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල හිමිකරුවන් වෙත එම ලැයිස්තුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික තෝරාගැනීම් වලට අනුව ක්‍රීඩකයින් 292 දෙනෙක් අවසන් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.

Share with your friends :