27 C
Colombo
24/11/2024

අළු යට ගිනිසේ සැඟව යන විමල් වීරවංශ ගේ දේශපාලන සටන් ……..

Share with your friends :

තුනෙන් දෙකක ආණ්ඩු බලයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය තුළ අභ්‍යන්තර කැරැල්ලක් පසුගිය දින කිහිපයෙහි මතු කරමින් සිටි කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා මේ වන විට එක්වරම නිහඬ වී තිබේ. පසුගිය කාලයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හඬ නැගු විමල් එම සටනින් අවසානයේ ඉවත් වුයේ කිසිවකු නොසිතූ පරිදිය. 20 සටන එලෙස අවසන් වුවද ආණ්ඩුවට හිතවත් මහා සංඝරත්නය හා විමල් ඇතුළු ජාතික බලවේග ආණ්ඩුවත් සමග ඇති කර ගත සිත් රිදවීම් අළු යට ගිනි මෙන් විය. සැබවින්ම එදා ඒ සටනේ ප්‍රධානතම යටි අරමුණ වුයේ බැසිල් රාජපක්ෂ කරලියට එම වැලැක්වීම බව දේශපාලනය දන්නා ඕනෑම කෙනෙකුට රහසක් නොවේ.
විමල්ලාගේ මීළඟ සටන වුයේ නැගෙනහිර පර්යන්ත සටනය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට ලබා දීමට එරෙහිව කල සටන තාවකාලික ජයග්‍රහණයකින් අවසන් කරන්නට විමල්ට හැකි වුයේ ඒ සඳහා ආණ්ඩුවේ පාර්ශව ගනනාවක් මෙන්ම වෘත්තීය සමිතිද එක්වූ නිසාය. කෙස්වෙතත් අපට දැන ගන්නට ඇති ආකාරයට එම ප්‍රශ්නයද තාවකාලිකව යටපත්වීමක් හැර අවසානයක් සිදුව නොමැත.
ඒ ගැටලුකාර තත්වය පවතිද්දීම විමල් වීරවංශ මහතා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතට කර තිබු ප්‍රකාශයක් මේ ගැටලුකාරී තත්වයට පාදක විය. පොදු ජන පෙරමුණේ සියල්ලන්ගේම අදහස විමල්ට එවැනි අදහසක් ප්‍රකාශ කරන්නට අයිතියක් නැති බවය. සැබවින්ම එය දෙබරයකට ගල් ගැසීමක් බඳු විය. මහින්ද රාජපක්ෂට ජනප්‍රියත්වයෙන් හෝ දේශපාලන උපාය මාර්ග අනුව හෝ ජනතාවට කිට්ටුවන්ත හිතවත්කමට හෝ ලංවිය හැකි නායකයෙක් ශ්‍රීලංකා දේශපාලනයේ දැනට නොමැත. අනෙක් අතට 2015 පරාජයෙන් පසු සියලු පාර්ශව ඒකරාශීකර නව පක්ෂයක්ද පිහිටුවා සුළු කාලයකින් එම පක්ෂය පළාත් පාලන ආයතන,පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරණය ආදී සියල්ලෙන් ජයග්‍රහණය කරා මෙහෙයවූ බැසිල් රාජපක්ෂට ඒ සිදුකල කැපවීමට තවමත් කිසිවක් ලැබී නැත. එසේ තිබියදී පොදුජන පෙරමුණේ නායකත්වය වෙනස් කරන්නට විමල් සිදුකල කතාවට පොදු ජන පෙරමුණේ විරෝධයට හේතුවීම පුදුමයක් නොමැත. ඒ කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද කිසියම් වූ දේශපාලන තනතුරක් ලබාදිය යුතු බවට විවාදයක් නොමැත. එහෙත් මේ දක්වාම ජනාධිපතිවරයා එවැන්නක් භාර ගැනීමට කැමති බවක් හෝ ඉඟි කර නොමැත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කතාබහ අවසානයේ දේශපාලන යුද්ධයක් බවට පරිවර්තනය විය. පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු විමල්ට එරෙහිව අවි අමෝරා ගනිද්දී යම් යම් පාර්ශව විමල් වෙනුවෙන්ද පෙනී සිටියහ.
මේ අතර පසුගිය දිනෙක ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ප්‍රවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විමල් වීරවංශ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමට සූදානම් වෙද්දී “වෙනත් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ” කියමින් ඒ මහතා නික්ම ගිය අයුරු දැක ගත හැකි විය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ඒ මහතාට එල්ල කර ඇති අභියෝගය පිළිබඳ මාධ්‍යවේදීන් විමසද්දී ඒ මහතා සිය නිල රථයට නැඟී දොර වසාගත්තේය. සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන්ට සමීප ඇමතිවරයකු වන විමල් මේ ආකාරයට කටයුතු කිරීම මාධ්‍යවේදීන්ට කුතුහලය දනවන සිදුවීමක් විය.
කෙසේ වෙතත් විමල් ගේ ප්‍රශ්නය මේ වන අවසන් නොමැති බව ආණ්ඩුවේ නායකයෝ හොඳින්ම දනිති. එහෙත් මෙවර රටේ වෙනත් ප්‍රශ්නද ඇති බැවින් විමල් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් නොගන්නා බව පැහැදිලිය. 2005 වසරේදී ජනාධිපතිවරණය ජයගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට 2006 වසරේදී මෙවැනිම අභියෝගයක් පැමිණිවිට තම ජනාධිපතිවරණ සටනේ කළමනාකරු වූ මංගල සමරවීර ඇමතිවරයා හා ශ්‍රීපති සුරියආරච්චි තනතුරු වලින් ඉවත් කරන්නට මහින්ද පසුබට නොවූ අතර එම නිසාම පක්ෂය තුල කාලයක් යනතුරු කැරලි මැඩපැවැත්වීමටද එය ඉවහල් විය. ඒ අවස්ථාවේ තම ඇමතිධුර අනතුරේ හෙලා ගෙන අඩුම තරමින් මංගලලා වෙනුවෙන් ඉදිරිපත් වන්නන්ට හෝ කිසිදු ඇමතිවරයකු සිතුවේ නැත.
එහෙත් මෙවර තත්වය වෙනස්ය. කොරනා හමුවේ ආණ්ඩුව මුහුණදී ඇති අභියෝග බොහෝය. එම නිසා විමල් වැනි ආකර්ශනීය කටක් ආණ්ඩුවට අවශ්‍යවේ.එහෙත් ආණ්ඩුව තුල විමල් වෙනම කණඩායම් ඇතිකර ගැනීමද ආණ්ඩුව සුළු කොට තකන්නේ නැත. විමල් වීරවංශ ගේ කොළඹ පිහිටි නිල නිවසේ පසුගියදා පැවති සාකච්ඡාවට වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් සහභාගි වුහ. මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කල බව සඳහන්ය.
ජනාධිපති සහ අගමැති හමුවී සාකච්ඡා කර දැන්විය යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත් රට අද මුහුණ දී ඇති තත්වයට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාදැයි මෙහිදී සාකච්ඡාවට බඳුන්වූ බව සඳහන්ය. මේ සහභාගිවූ පිරිස ගත් කල එහි සිටි පිරිස අතරින් ආණ්ඩුවට හෝ ජනමතයට යම් හෝ බලපෑමක් කල හැකි එකම පුද්ගලයාද විමල් පමණි.ඊට සහභාගී වූ සෙසු බොහෝ පිරිස් වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසි විටෙක සුදානම් නැති පිරිසකි. ආණ්ඩුවේ නායකයෝද මෙය හොඳින් දනිති. පොදු ජන පෙරමුණේ ප්‍රබලයන්ට අනුව සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ෂණය කර ගන්නට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වෙනත් කිසිවකු අවශ්‍ය නැත. මහින්දගේ ආකර්ශනීය ජන පදනමට පින්සිදුවන්නට පොදු ජන පෙරමුනේ හවුල්කාර පක්ෂ වලින් පිරිස් පාර්ලිමේන්තු යාම ඔවුන් ඉවසුවත් පක්ෂය පාලනය කරන්නට , පක්ෂය ගැන තීරණ ගන්නා මට්ටමට පැමිණීම ඔවුන් ඉවසන්නේ නැත.එසේම ඇතැම් අන්ත ජාතිවාදී අදහස් ඇති ඇතැම් පාර්ශව නිසා කවදත් මහින්ද සමග සිටි සුළු ජාතික පක්ෂ නායකයන් මහින්ද ගෙන් ඈත් වන බවද පොදු ජන පෙරමුණු නායකයෝ දකිති. 2015 වසරේදීද මෙය දැක ගත හැකි විය. සුළු ජන කොටස් ආණ්ඩුවෙන් ඈත් කල පිරිස් අවසානයේ මහින්ද හැරදා ගොස් විපක්ෂයට එක් වූ විට මහින්ද පරාජය විය.එහෙත් මහින්ද යලි බලයට ගෙන එන්නට අද මහින්ද වටා සිටින ජාතිකවාදී බලවේග සැපයු දායකත්වයද සුළුපටු නැත. එහෙත් රටක් ලෙස රජයක් ලෙස ඉදිරියට යන විට ඒ අන්ත ජාතිවාදී බලවේග සමග පමණක් ඉදිරියට යන්නට ජාත්‍යන්තර ප්‍රජාව ඉඩ දෙන්නේ නැත. අනෙක් අතට අප රටක් ලෙස විදේශ ආධාර හා අපනයන මත රඳා පවතින ආර්ථිකයක් සහිත රටකි. අපගේ අපනයන වලට ප්‍රශ්න ඇතිවුවහොත් එය දීර්ගකාලීනව අපට දරුණු බලපෑම් ඇති කරනු ඇත. එමගින් බොහෝ රැකියා අවස්ථා පවා බොහෝ දෙනෙකුට අහිමිවීම වැළක්විය නොහැක. ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නයද ආණ්ඩුවට කරන බලපෑම සුළුපටු නැත. එහෙත් ජාත්‍යන්තර බලපෑම ආණ්ඩුවට දේශීය වශයෙන් වාසිදායක් ලෙස යොදවා ගන්නට මහින්ද රාජපක්ෂ තරම් දක්ෂයෙක්ද නොමැත. මේ ප්‍රශ්න අතරේ ආණ්ඩුව විමල්ට ආණ්ඩුවෙන් යන තැනකට තල්ලු නොකරන බව විශ්වාසය.
ඇතැම් පිරිස් වලට අනුව විමල් නැතුව මේ ආණ්ඩුව කල නොහැක. ඒ අයගේ අදහසට අනුව ජාතිකවාදී බලවේග අද සිටින්නේ ඔහු සමගය. එහෙත් ආණ්ඩුවේ බොහෝදෙනා කියන්නේ සියලු බලවේග සිටින්නේ මහින්ද සමග බවය. තවත් සමහරුන්ට අනුව විමල් ආණ්ඩුවට කල දෙයක් නොමැත. කෙසේ වෙතත් සමහරු කියන්නේ මේ විමල්ගේ සිද්ධිය රටේ ප්‍රශ්න යටපත් කිරීමේ නාටකයක් බවය.එසේත් නැතිනම් කිසිවකු විසින් විමල් මෙහෙයවන බවටද ඇතැමුන් කියති. කෙසේවෙතත් කවුරුන් කුමක් කීවත් මේ සිද්ධිය නිසා විමල්ට ඇතිවූ හානිය සුළුපටු නැත. විමල් ගැන ආණ්ඩුවේ ඉහල නායකයන් දරන මතය හා දෙවන පෙළ නායකයන් දරන මතය ඒ තුලින් මනාව ප්‍රදර්ශනය විය. එම නිසා ඒ මතවාද නිසා හානි වන්නේ විමල්ගේ ඡන්ද පදනමටය. මේ වන විට ආණ්ඩුවේ නායකයන් විමල් ගැන කරන කතාබහ සහ සලකන ආකාරය ඉදිරි මැතිවරණ වලදී ඔහුගේ මනාප වලට බලපෑම් කරනු ඇත. පසුගිය මහමැතිවරනයෙදී තමන්ට සිදුවූ දෙය විමල් හොඳින්ම දනී. මුලින්ම ජාතික ලැයිස්තුවෙන් එන්නට විමල්ට යෝජනා ඉදිරිපත් විය. එහිදී අම්පාරේ සිටි සරත් වීරසේකර කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියේය. කඩුවෙල ආසනයෙන් අපේක්ෂකයන් ගනනාවක් ඉදිරිපත් කරන ලදී. මේ සියල්ල අන් හැමටම වඩා දන්නේ විමල් වීරවංශම මිස වෙනත් අය නොවේ. එම නිසා නිහඬ වීම විමල්ට ඇඟට ගුණ බව අපගේද අදහසයි. එහෙත් විමල්ගේ නිහඬභාවය තවත් කොතරම් කාලයකටදැයි දන්නේ විමල්ම පමණි.

විමල්ගේ සිද්ධිය ගැන විමල්ට පක්ෂව හා විමල්ට විරුද්ධව පසුගිය දිනවල කියවුණු කතා කීපයක් මෙසේ ලියා තබන්නෙමු.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි-
පසුව විවිධ නම් දා ගත්තට මහින්ද සුළඟ නම් දරුවා ඉපදුනේ කලකට පෙර අභයාරාමයේදී මූලාරම්භයක් ලබා ගනිමින්,
එම ආරම්භක අවස්ථාව සඳහා විමල් වීරවංශ මහතා ඇතුළු හතර පස් දෙනෙකු මූලිකත්වය ගත්තා
මේ ආණ්ඩුවට මහින්ද සුළඟ සහ පැවිදි හඬ විසින් මූලාරම්භය තැබූ බව ජන බලවේගය බව අමතක කරන්න එපා ,මේ ආකාරයේ සදාචාරාත්මක නොවන කටයුතු සිදු කළහොත් ඊට විරුද්ධව කටයුතු කරන්න අපිට වෙනවා,

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා –
අලුත් වේදිකාවක් නිර්මාණය කර අපේ ජනාධිපතිවරයෙක් හා අපේ ආණ්ඩුවක් නිර්මාණය කළේ පාර්ශ්ව රැසක සහයෝගයෙන් , ඒ නිසා ‘වේදිකා ගැහුවෙ අපි, කාපට් දැම්මෙ අපි, කතා පැවැත්තුවේ අපි’ යනුවෙන් කියමින් වෙන වෙනම වටිනාකම් ඉල්ලීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ , සන්ධානය නියෝජනය කරන පක්ෂවලට වෙන වෙනම සාකච්ඡා පැවැත්වීම කිසිදු ගැටලුවක් නැහැ හැබැයි එවැනි සාකච්ඡාවලින් ආණ්ඩුවට බලපෑමක් වෙන්න කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ .
තමන් අද ඇමති පුටුවල වාඩි වී සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් අලුත් පක්ෂයක් නිර්මාණය කර එම පක්ෂය ආණ්ඩු බලය හිමි පක්ෂයක් දක්වා රැගෙන ගිය නිසා බව විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස අවබෝධ කරගත යුතුයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා-
විමල් වීරවංශ යනු මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙක් ,
කිසිවකු විසින් හෝ ඔහු අවතක්සේරු කරනවා යනු කෙලෙහිගුණ නැතිකම ,
බෞද්ධ රටක කෙළෙහිගුණ නොදන්නා අයට කෙළෙහි ගුණය පාඩම කියා දීම සඳහා මහා සංඝරත්නය පෙරට පැමිණීම ගැන සිරස නමා මහා සංඝරත්නයට ප්‍රණාමය පුද කරනවා

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ –
පොදුජන පෙරමුණේ නායකයන් තේරීම ඇමති විමල් වීරවංශට අයිති වැඩක් නොවෙයි
තමන්ගේ මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතත් පක්‍ෂයක නායකයන් තේරීමේ බලයක් කිසිවෙකුට දී නැහැ
මේ රටේ සාධකය මහින්ද රාජපක්ෂ මහතා , ඔහුගේ කරේ එල්ලී විමල් වීරවංශ වැනි අය ගොඩ ගියා ,
කථිකත්වය පමණක් නොව පිළිගත් නායකයෙක් අවශ්‍ය බවත් කථිකයන් උවමනා වන්නේ එම නායකයාව වර්ණනා කරමින් කසකාරයා මෙන් පෙරහැර ගෙනයාමටයි,

 

 

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත

විමල් වීරවංශ මහතා ඉතිහාසය පුරාම කළේ ඔහු සිටින කඳවුර තුළ ගැටළු ඇතිකිරීම , මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේත් එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්, වත්මන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට ආර්ථික ඝාතකයෙකැයි කියමින් ගැටළුවක් නිර්මාණය කලා ,.
දැන් මේ වෙලාවේ පක්ෂ – පක්ෂ අතරේ ගැටුමක් හදන්න උත්සාහ කරනවා, මේ ආණ්ඩුවෙ කවුරුත් අයිතිකාරයෙක් නෑ, අපි කට්ටිය එක්කහුවෙලා හදපු ආණ්ඩුවක් ‌ තියෙන්නෙ. ඒ නිසා යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ ආණ්ඩුවෙ අයිතිකාරයො එයාලා කියලා, එයාලට වැරදිලා,
පන්සලේ පින්කමේ කවි කීම සඳහා කුලියට යමෙක් ගෙන්වාගත් විට ඔහුට කුලිය දී යවනවා මිසක් පන්සල ලියාදෙන්නේ නැති බව විමල් වීරවංශ මහතාට අද තේරුම් ගන්න ඕන ,

www.channelnewslanka.com

Share with your friends :