පසුගිය යහපාලන රජය සමයේ ශ්‍රීලංකාවේ සිදුවූ දුෂිතම ටෙන්ඩර් ක්‍රියාවලියක් ලෙස සැලකෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ e-මෝටරින් ව්‍යාපෘතිය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ලබන සතියේ එම දෙපාර්තමේන්තුවෙන් මාරුවීම් ලබන ඉහල නිලධාරියෙකු දැඩි උත්සහයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති.
මෙම ව්‍යාපෘතිය ලබා දී ඇත්තේ වර්තමාන රජය විසින් බරපතල වංචාවක් හා මුදල් වැය කිරීමක් බවට හඳුනා ගැනීමෙන් පසුව ශ්‍රීලංකා යුද හමුදාවට පවරා දෙනු ලැබූ රියදුරු බලපත් ව්‍යාපෘතිය සිදු කරනු ලැබූ දකුණු අප්‍රිකානු සමාගම වෙතටමය. මේ නව ව්‍යාපෘතිය නිසා මෙතෙක් ශ්‍රීලංකා රජයට හිමිවූ රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමිවී එය කෙලින්ම දකුණු අප්‍රිකානු සමාගමක් වෙත ගලා යාම සිදුවන්නේ විදේශ විනිමය ලෙසටය. මේ වන විට ආනයන සීමා කර දැඩි අසීරුවෙන් පවත්වා ගෙන යන රටේ විදේශ විනිමය සංචිත දකුණු අප්‍රිකාවට මෙසේ ගලායාමට සැලැස්වීම බරපතල අපරාධයකි. එසේම ඒ හරහා අපේ රටේ වාහන වල හා ඒවායේ අයිතිකරුවන්ගේ සංවේදී රහස් තොරතුරු සියල්ල විදෙස් රටක සමාගමකට පත්වීම ජාතික ආරක්ෂාවටද බරපතල ගැටලුවකි.
අදාළ ව්‍යාපෘතිය මුල සිටම අදාළ සමාගමට ලබා දීමට ඉහත කී නිලධාරියා කටයුතු කල අතර ඒ හරහා අවසානයේ එය ප්රදානය කරන ලද්දේ අදාළ ක්‍රමවේදයේ මූලික වටවලදී අඩුම ලකුණු ලබා ගත් සමාගමටය. එහි ශ්‍රීලංකා නියෝජිත සමාගමද මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධාන සමාගමක් නොවන අතර ඔවුන් ප්‍රින්ටර් හා කැමරා විදෙස් රටවලින් ආනයනය කර මෙරට අලෙවි කරන සමාගමක් වීම මෙහිදී කැපී පෙනෙන සිද්ධියකි.
මේ කටයුත්ත සඳහා මේ වන විට “හරි ගුණයක් වර්ධනයක් ” නැති උපදේශකයකු පත් කර ගෙන ඇති අතර ඔහුට රුපියල් කෝටියක මුදලක් උපදේශන සේවා සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට නියමිතය. “හරි ගුණයක් වර්ධනයක් ” නැති උපදේශකයා මීට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ e-පෙන්ෂන් ව්‍යාපෘතිය සිදු කල තැනැත්තා වන අතර මේ වන විට රුපියල් කෝටි ගනනක් වැය කල එම ව්‍යාපෘතිය මුළුමනින්ම බිඳ වැටී තිබේ.
e-මෝටරින් ව්‍යාපෘතියේ මහා මොලකරු ලබන සතියේ සිට වෙනත් අමාත්‍යංශයකට මාරුවීම් ලබා තිබෙන අතර ඔහු මේ වන විට තමාගේ හිතවතෙකු එම දෙපාර්තමේන්තුවට රැගෙනවිත් වැඩබලන මට්ටමෙන් තම තනතුරට පත් කර ඇත්තේ ඔහු ලබන සතියේ සිට වැඩ භාරගන්නා දෙපාර්තමේන්තුවේ සිට අදාල කටයතු තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීම සඳහාය. අදාළ මහ මොලකරු පසුගිය වසර පහක කාලය තුල මෙම දෙපාර්තමේන්තුවේ සේවය කලද ඔහු වැඩි කාලයක් සේවයට වාර්තා නොකළ අතර වැඩි දිනක් ගත කර තිබෙන්නේ විවිධ සමාගම් වල ව්‍යාපෘති වල කටයුතු වලටය. මේ සම්බන්ධයෙන් ඔහුගේ පැමිණීම් ලේඛන පරීක්ෂාවෙන් දැන ගත හැකිය. ඔහු පුද්ගලික සමාගම් වලට පක්ෂව කටයුතු කිරීම් සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවෙන්ද ප්‍රශ්න කරන ලද්දේ ඔහු සේවය කරන්නේ සමාගම් වලටද නැතහොත් රජයටද යනුවෙනි.
එසේම මෙම ව්‍යාපෘතියට අදාලව දෙපාර්තමේන්තුවේ නීති රීති හා නිල ලේඛන සකස් කල නිලධාරියා සම්බන්ධයෙන් සේවකයෝ දැඩි චෝදනා එල්ල කරති. අදාල් ලේඛන දකුණු අප්‍රිකානු සමාගමට වාසි වන අන්දමට හා ශ්‍රීලංකා රජයට පාඩු වන අන්දමට සකස් කල බවට චෝදනා පවතී. මේ නිසා මෙම ව්‍යාපෘතියට අදාළ ලේඛන සකස් කර ඇති ආකාරය නිසි නීතිමය දැනුමක් ඇති පාර්ශව මගින් හෝ නීතිපති දෙපාර්තමේන්තුව හරහා නැවත විමර්ශනයක් කල යුතුව තිබේ.
රියදුරු බලපත්‍ර ටෙන්ඩරය හරහා දකුණු අප්‍රිකාවට මාස්පතා ගලාගිය කෝටි ගණනක් මුදල් රටට ඉතිරි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත්වී රියදුරු බලපත්‍රය ශ්‍රීලංකා යුද හමුදාවට ලබා දුන් ආකාරයටම මේ සඳහා මැදිහත්වී මේ මුදල් රජයට ඉතිරි කර දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා ගෙන් හා රජයෙන් ඉල්ලා සිටිති.
මේ සඳහා කිසියම් හෝ නව තාක්ෂණ දැනුමක් අවශ්‍ය නම් ඒ සඳහා දේශීය තාක්ෂණ හෝ මෘදුකාංග සමාගමක් සම්බන්ධකරගෙන ශ්‍රීලංකා රජය යටතේම මෙම කටයුත්ත සිදු කරන ලෙසටත් රටේ මුදල් මේ ආකාරයට විදෙස් රටවලට ගලායාම නවත්වන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ රජයෙන් ඉල්ලා සිටිති.