මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) විසින් මෑතකදී හඳුන්වා දුන් කලින් වේලාවක් වෙන් කර ගෙන සේවා ලබාදීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථකවීම නිසා දිනපතා එහි සේවය ලබා ගන්නා දසදහස් ගණන් ජනතාව දැඩි අපහසුතාවන්ට ලක්ව සිටිති.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට එහි සේවා ලබා ගන්නට මාසයක් හෝ ඇතැම්විට මාස දෙකක් පමණ බලා සිටින්නට සිදුව ඇති අතර ඊට පෙර වේලාවන් වෙන්කර දෙන බව පවසමින් ඇතැම් තැරැව්කරුවන් හා ඒ අසල ඇති ඇතැම් කමියුනිකේෂන් වල පුද්ගලයන් රුපියල් තුන් දහසේ සිට දස දහස දක්වා අය කරන බව සඳහන්ය.
එසේම නිසි පරිදි වේලාවක් වෙන්කර ගෙන සති කීපයක් බලා සිට එහි පැමිණෙන පුද්ගලයන්ද අදාළ ක්‍රමවේදයේ ව්‍යාකූලභාවය නිසා පැය ගණන් රස්තියාදු වන බව සඳහන්ය. මේ වන විට රටේ සාමාන්‍ය කටයුතු යථා තත්වයට පත්වෙමින් තිබීම හා අනෙකුත් රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා ආරම්භ කිරීම සිදු කර ඇති නිසා ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස සාමාන්‍ය සේවා කටයුතු වහාම ආරම්භ කරන්නන්ට පියවර ගත යුතු බවට එහි සේවකයෝ පවසති.
මේ වන විට දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොවීම හා මේ වන විට එම දෙපාර්තමේන්තුවේ පරිපාලනය බොහෝ දුරට බිඳවැටීම නිසා එහි සේවය ලබා ගන්නා ජනතාවට සිදුවන අපහසුතා තවදුරටත් උත්සන්න වී තිබේ.
එසේම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොරුන් බවට කොමසාරිස් ජනරාල්වරයා සිදු කල ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රකාශය නිසා සේවක සේවිකාවන්ගේ දැඩි විරෝධය කොමසාරිස් ජනරාල්වරයා වෙත එල්ලවීම නිසා ආයතනයේ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට කර ගෙන යා නොහැකි තත්වයක්ද උද්ගතවී තිබේ. එම ප්‍රකාශයෙන් පසු කොමසාරිස් ජනරාල්වරයා දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පැය දෙකකට අධික කාලයක් තිස්සේ රඳවා ගෙන සිටි අතර එහිදී අදාල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත් ඔහු සේවකයන් ගෙන් සමාව ඉල්ලා තිබේ. එහෙත් සේවකයන් පවසන්නේ මාධ්‍ය ඉදිරියේ අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවය.
2007 වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රටේ හොඳම රජයේ දෙපාර්තමේන්තුව ලෙස ජාතික ඵලදායිතා සම්මානය දිනා ගත්තේද මෙම සේවක පිරිස සමග බව පෙන්වා දෙන එහි සේවකයෝ වර්තමානයේ දෙපාර්තමේන්තුව වැටී ඇති තත්වයට මුලිකම හේතුව වර්තමාන කොමසාරිස් ජනරාල්වරයා හට මෙවැනි අන්දමේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් හෝ අත්දැකීම් නොමැතිවීම බව පෙන්වා දෙති. එසේම ඔහුට මෙහි ව්‍යුහය හෝ එය පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන්වත් නිසි අවබෝධයක් නැතැයිද සේවකයෝ පෙන්වා දෙති.