27 C
Colombo
24/11/2024

අගමැතිගේ ගැසට් නිවේදනය නිලධාරිනියක් අවලංගු කරලා-ව්‍යාපාරික මාෆියාවක් ගැන සැකයක්

Share with your friends :

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන මෙරටට ආනයනය සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කරමින් ආනයන අපනයන පාලක ජනරාල් T.V.D. දමයන්ති කරුණාරත්න මහත්මිය විසින් සියළු බැංකු වෙත දැනුම් දීමක් කර ඇත.
එසේ බල රහිත කර ඇත්තේ ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් පසුගිය වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි. ඒ අනුව අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට දැනුම් දී ඇත.
විදෙස් රටවලින් නාන කාමර කට්ටල හෝ උපාංග ආනයනය තහනම් කිරීම නිසා එම කර්මාන්තයේ සහ ඊට අදාල ක්ෂේත්‍රවල රැකියාවල නියුතු ලක්ෂ පහක පමණ පිරිසක් ආදායම් මාර්ග අහිමිවී දැඩි ලෙස අසරණව සිටිති. එසේම එම භාණ්ඩවල දැඩි හිඟයක්ද රට තුල ඇතිවී තිබේ. මේ හේතුවෙන් රටපුරා එම භාණ්ඩ අලෙවිසල් දහස් ගනනක් වැසී යමින් පවතී.මේ තත්වය මත ඔවුන්ගෙන් යැපෙන තවත් ලක්ෂ ගනනක් දරු පවුල් අසරණ වී සිටිති. ශ්‍රීලංකාවේ නාන කාමර කට්ටල සුළු වශයෙන් නිෂ්පාදනය වුවද එය මෙරට ඇති ඉල්ලුමෙන් සියයට දහයකටවත් ප්‍රමාණවත් නොවේ. එසේම ශ්‍රීලංකාවේ එම නිෂ්පාදන මිල ගණන් ඒවායේ සාමාන්‍ය මිල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිවීම නිසා ජනතාවට එම මිල දරා ගැනීමට අපහසු වී තිබේ.
එසේම ආනයනික ටයිල් වර්ග සඳහා බදු වැඩි කිරීම නිසා එම ටයිල් මේ වන විට ශ්‍රීලංකාව වෙත ආනයනය නොකෙරෙන අතර ඒ හේතුවෙන් රෝයල් සෙරමික්ස් සහ ලංකා ටයිල්ස් වෙත ටයිල් ඒකාධිකාරයක් හිමිවී තිබේ. තවත් ටයිල් සමාගම් තිබුනද ඒවායේ නිෂ්පාදනය වන්නේ සුළු ප්‍රමාණයකි. මේ වන විට අදාළ ටයිල් සමාගම් තම මිල ගණන් අසාධාරණ ලෙස විශාල වශයෙන් වැඩි කර තිබේ.මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ආනයන තහනම ඉවත් කරන ලදී.
ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ නියෝගය අනුව තවදුරටත් නානකාමර හා ටයිල් මෙරටට ආනයනය කිරීම සීමා කෙරෙනු ඇත.
එසේම අගමැතිවරයා මෙන්ම මුදල් ඇමැතිවරයාද වන මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් මේ ආකාරයට කනිෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක විසින් අවලංගු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෙළද ක්ෂේත්‍රයේද දැඩි කතා බහට ලක්ව තිබේ.
මේ අතර ආනයන තහනම උපයෝගී කර ගනිමින් අධික ලාභ ලබමින් ජනතාව ගසාකන දේශීය ටයිල් නිෂ්පාදකයන් මේ පසුපස සිටින්නේද යන සැකය ජනතාව තුල ඇතිවී තිබේ.

Share with your friends :