පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, අලුත්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, කුකුල්කටුව වැව ඉස්මත්තේ පැවති “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහනට සහභාගීවෙමින් නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
“ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ජනතාවගෙන් නිරන්තරයෙන් ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින් වනජීවි, වන සංරක්ෂණ, පරිසර, ඉඩම් ඇතුළු සියලු දෙපාර්තමේන්තු හා ආයතනවලට ජනතා යහපතට ඉවහල්වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ගැටළු නිරාකරණය කොට අවසන් වරට සැකසූ ඔප්පු 17,000කට තමා මේ වන විට අත්සන් තබා ඇතැයි ජනාධිපතිවරයා පවසා තිබේ.
2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.
“ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගී වීමට තණමල්විල ප්‍රදේශයට ගිය ජනාධිපතිවරයා කොටවෙහෙර මංකඩ මහා විද්‍යාල භූමියට රැස්ව සිටී පාසල් සිසුන් හා ගම්මුන් සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු විමසා බැලීය.
මොණරාගල නගරයේ සිට කි.මි 100ක් පමණ දුරින් වූ අලුත්වැව “ගම සමග පිළිසඳර” අට වැනි වැඩසටහන සඳහා තෝරාගෙන තිබිණ. අලුත්වැව ගම්මානය කොටවෙහෙර මංකඩ, වැල්ලවාය, හම්බෙගමුව, වලවේ ගඟ, කණ්ඩියපිට වැව යන ග්‍රාමයන්ට මායිම්ව පිහිටා තිබේ. දලුක්ගල, කොරටුවැව, කිලිම්බුන්න, මිල්ලගල, දහයියාගල, නෑබඩපැලැස්ස සහ පොකුණුතැන්න අලුත්වැව ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 790කින් සමන්විත අලුත්වැව ගම්මානයේ ජනගහනය 2794කි. උඩවලව ජාතික වනෝද්‍යානය ආශ්රිත ප්‍රදේශවල ජනතාව දඩයම් කිරීම සහ හේන් ගොවිතැන සඳහා සංක්‍රමණය වීමෙන් 20 වැනි ශතවර්ෂය මුල් භාගයේ අලුත්වැව ජනාවාසයක් බවට පත්ව තිබේ. වී සහ හේන් ගොවිතැන ගම්මානයේ බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය වේ.
ග්‍රාමීය ගැටළු විසඳීමේ දී ජනතාවගේ අදහස් සහ යෝජනාවන්ට ප්‍රමුඛතාව ලැබේ. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ග්‍රාමීය ජනතාව එක්ව ගම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දිවයිනේ පාසල් රැසක ඉංග්‍රීසි ගුරු හිඟය පවතින බව අනාවරණය වී තිබේ. ඊට පිළියම් ලෙස අදාළ පාසල්වලට ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීමටත් දිස්ත්‍රීක්කයේ සියලු පාසල්වල ගුරු හිඟය පියවීමටත්, ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.