වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශ ගතවූ විශ්වවිද්‍යාල ආචාර්යවරු 101 දෙනෙකු යලි නොපැමිණීම නිසා ඔවුන් සඳහා ඇප අත්සන් කල පුද්ගලයන් දැඩි අසීරුතාවයන්ට ලක්ව සිටිති.
මෙම ආචාර්යවරු ගිවිසුම් කඩකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 29කට ආසන්න මුදලක් රජයට ගෙවිය යුතු බව ගණන් බලා ඇත. නීත්‍යානුකූලව එම මුදල ඇපකරුවන් ගෙන් අයකළ යුතුව තිබේ. එහෙත් එම ඇපකරුවන් හිතවත්කම් හෝ ඥාති සම්බන්ධතා මත මත ඇප අත්සන් කර ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ට කිසිදු වරප්‍රසාදයක් නොලැබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් හා ආචාර්ය උපාධි සඳහා 2011 වර්ෂයේ සිට විදේශ ගතවූ ආචාර්යවරු 22 දෙනෙක් නියමිත කාලයේදී නැවත සේවයට වාර්තා කර නැත.
එම ආචාර්යවරු එළඹ තිබුණු බැඳුම්කර ගිවිසුම් කඩකිරීම නිසා 2019 දෙසැම්බර් 31 වන දින වනවිට රුපියල් මිලියන 97.26ක් අයවිය යුතුව තිබුණු බව විගණන වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු 42දෙනෙකු පශ්චාත් උපාධි ලබාගැනීමට විදේශගතවී නැවත සේවයට නොපැමිණීම නිසා ගිවිසුම් කඩවීම මත 2020 ජූනි 30 දිනට රුපියල් මිලියන 113.71ක් අයවිය යුතුව ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ ආචාර්යවරුන් 37 දෙනෙකු ගිවිසුම් හා බැඳුම්කර කඩකර තිබීම හේතුවෙන් 2019 දෙසැම්බර් 31 වනි දින වනවිට ඔවුන්ගෙන් රුපියල් මිලියන 76.86ක් අයවිය යුතුව තිබේ.
මේ හේතුවෙන් මෙම ගිවිසුම් ක්‍රමය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවට බොහෝ දෙනා පවසති. මෙසේ විදෙස් ගතව සිටින පිරිස් විශාල වශයෙන් වැටුප් ලබන බැවින් ඔවුන් මෙම මුදල ආපසු ගෙවන්නේ නම් එම මුදල ඔවුන්ට විශාල මුදලක් නොවන නමුත් ඇපකරුවන් ගේ පැත්තෙන් ගත් කල එය ගෙවන්නට සිදුවීම විශාල බරක් බව පැවසේ.