2021 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වැනි සැසි වාරයේ දී ශ්‍රීලංකාවට එරෙහිව දැඩි තීරණ ගැනීමට රටවල් කීපයක් කටයුතු කරමින් සිටින බව පැවසේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් ඊට වගකිවයුතු ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම හා වෙනත් සම්බාධක පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වේ. මේ වන විට අදාළ වාර්තාව ශ්‍රීලංකා රජය වෙත ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබ දීම සඳහා ජනවාරි 27 වැනිදා වන තුරු කල් ලබාදී තිබේ.
මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් මෙම වාර්තාව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට එල්ල කෙරෙන පීඩනයන්ද මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු විය යුතු බව මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇත. මෙම තත්ත්වයට පිළිතුරු ලෙස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවද ඇය පෙන්වා දී තිබේ.
මේ අතර බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වේ. කෙසේ වෙතත් එම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් හෝ විරෝධය පළකිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව මේ වන විටත් තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර රජයේ ඇතැම් පාර්ශව වල අදහස වී ඇත්තේ මේ වන විට රටේ සාමකාමී තත්වයක් ඇතිවී තිබෙන අතර ජාත්‍යන්තරය මගින් සිදු කෙරෙන බලපෑම් සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කල යුතු බවය.