27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට-සේවකයෙකුට කොරෝනා

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. මෙම ගුවන් නියමුවා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර PCR පරීක්ෂණය මගින් කොරෝනා ආසාදනයවී ඇති බව සනාථ වී තිබේ. මේ අතර චීනයේ ෂන්හායි නගරයට ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක තවත් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනයවී ඇති බව එරටදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළිවී ඇති අතර ඒ අනුව චීන බලධාරීන් විසින් එරට නීති රීති අනුව විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් එම කාර්ය මණ්ඩල සාමාජිකයා එම ගුවන් යානයෙන්ම නැවත ශ්‍රීලංකාවට එවා තිබේ.
කෙසේ වෙතත් මෙවර ආසාදනය වූ ශ්‍රීලංකන් ගුවන් නියමුවා පසුගියදා කටුනායක ශ්‍රීලංකන් ගුවන් පුහුණු මධ්‍යස්ථානයේදී ශ්‍රීලංකන් සභාපති අශෝක් පතිරගේ මහතා සමග ගුවන් නියමු සංසදය පැවැත්වූ සාකච්ඡාවට සහභාගී වූ ගුවන් නියමුවෙකු නොවේ. අදාළ සාකච්ඡාවට සහභාගී වූ ගුවන් නියමුවන් හතලිස් ගනනක් අතරින් එක් අයෙකුට කොරෝනා ආසාදනයවී තිබු බව පසුව හෙළිවීම නිසා ගැටළු මතුවූ අතර කෙසේ වෙතත් මෙවර කොරෝනා ආසාදනයවූ නියමුවා ඊට සහභාගී නොවූ අයෙක් බව අප කල සොයාබැලීම් වලදී තහවුරු විය.
මේ අතර අදාළ සකච්ඡාවට සහභාගිවූ ගුවන් නියමුවා කොවිඩ් ආසදනයවී තිබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සමාගම නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සුදුසු පියවර ගෙන ඇති බවයි. අදාළ රැස්වීමට සහභාගිවූ පළමු පෙළ ආශ්‍රිතයන් මෙරට සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට අනුකූලව නිරෝධායනය කර ඇති බවත් ඇති බවත් අනතුරුව PCR පරීක්ෂණ වලට ලක්කරන බවත් සමාගම පවසයි.
එසේම අදාළ රැස්වීම නිරෝධායන නීති රීති වලට අනුකූලව පවත්වන ලද බවත් එම රැස්වීමේ සිටි සෙසු පිරිසට අවදානමක් නොමැති බව ගුවන් තොටුපල වෛද්‍ය අංශ මගින් තහවුරු කල බවත් එම සමගම පවසයි.
කෙසේවෙතත් ශ්‍රීලංකන් වෘත්තීය සමිති පවසන්නේ සමාගමේ සභාපති, ප්‍රධාන විධායක , මෙහෙයුම් ප්‍රධානී සහ සමාගමේ ප්‍රධාන නියමු විධායක මෙම රැස්වීමට සහභාගී වූ අතර එම පිරිසද සෙසු සේවකයන් හා සම්බන්ධ නොකර නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. අදාළ ඉහල කලමනාකරිත්වය ඊට පසුද සෙසු සේවකයන් හමුවී ඇති බවත් මෙය ඉතාම බරපතල තත්වයක් බවත් වෘත්තීය සමිති කියා සිටී. රටේ ප්‍රධාන පුද්ගලයන් පවා එවන් තත්වයන් වලදී නිරෝධායනය වෙමින් මේ වන විට රටට ආදර්ශය දී ඇති බවත් එම නිසා ශ්‍රීලංකන් කලමනාකරිත්වයද ඒ ආකාරයට නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රීලංකන් වෘත්තීය සමිති කියා සිටිති.
මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් කොරෝනා ආසාදනය වන සේවක පිරිස් සඳහා මේ වන විට වෘත්තීය සමිති විසින් ඉල්ලු පහසුකම් හා ඉල්ලීම් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් සේවක වෘත්තීය සමිති කළමනාකාරිත්වයට ප්‍රසාදය පල කර සිටිති.
සබැඳි පුවත්
නියමුවාට කොරෝනා තහවුරුවේ-ශ්‍රීලංකන් කොරෝනා ප්‍රශ්නය දුර දිග යයි

Share with your friends :