27 C
Colombo
24/11/2024

කොටස් වෙළෙඳපොළ ගැන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සතුට පළවේ

Share with your friends :

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වාර්තාගත කාර්යසාධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය සතුට පලකරයි. කොළඹ කොටස් වෙළෙඳපොළ ලොව හොඳම කාර්යසාධනයක් සහිත කොටස් වෙළෙඳපොළ ලෙස බ්ලූම්බර්ග් ආයතනය විසින් හඳුනාගෙන තිබේ.
2021 ජනවාරි 22 වන දින, කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් කොළඹ කොටස් හුවවමාරුව ගනුදෙනු 67,846 ක් වාර්තා කළ අතර ජනවාරි 22 දිනය වන විට සමස්ත කොටස් මිල දර්ශකයද (ASPI) ඒකක 8,463.4 ක් පෙන්නුම් කරමින් ASPI ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ඒකක සංඛ්‍යාව වාර්තා කරන ලදි. කොළඹ හුවමාරුව මෙතෙක් වාර්තා කළ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වන රුපියල් ට්‍රිලියන 3.6 මෙදිනම වාර්තා කරන ලදි.
කොළඹ කොටස් හුවමාරුවේ සියළු කොටස් මිල දර්ශකය පසුගිය මාස 8 තුළ 92% ක සැළකිය යුතු වර්ධනයක් වාර්තා කළ අතර 2020 මැයි මාසයෙන් පසු බ්ලූ-චිප් සමාගම්වලින් සමන්විත එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය 88% කින් පමණ ඉහළ ගොස් තිබේ. 2020 වර්ෂය තුළ පෙන්නුම් කළ රුපියල් බිලියන 1.8 ට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේ පළමු දින 22 තුළ කොළඹ කොටස් හුවමාරුවේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් බිලියන 9.3 ක අගයක් ගෙන ඇත. එය 2019 දී වාර්තා වූ දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 711 සිට විශාල වැඩිවීමකි.
කොළඹ කොටස් හුවමාරුවේ මෙම සුවිශේෂී කාර්යසාධනය තුළින් පෙන්නුම් කරන්නේ ආයෝජකයින් අතර වෙළෙඳපොළ කෙරෙහි ඇති දැඩි විශ්වාසයයි. විදේශීය ආයෝජකයින් කොටස් විකිණීමට පෙළඹුනු අවස්ථාවේදී දේශීය ආයෝජකයින් සක්‍රීය ලෙස ගණුදෙනුවලට අවතීර්ණ වී ඇති අතර ඔවුන්ගේ දායකත්වය 2020 දී සමස්ත වෙළෙඳපොළ පිරිවැටුමෙන් 80% ක් විය.
කොටස් වෙළෙඳපොළේ පෙර නොවූ විරූ ක්‍රියාකාරිත්වයට හේතු සාධක කිහිපයක් බලපා ඇති අතර, ඉන් ප්‍රධානතම දෙය නම් පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාත අඩු කිරීමයි. පවත්නා අඩු පොලී අනුපාත තත්ත්වය තුළ බොහෝ ආයෝජකයින්ගේ ප්‍රධානතම විකල්ප ආයෝජන තේරීම බවට කොටස් වෙළෙඳපොළ පත් වී ඇත. දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රගතිශීලී පියවරයන් ද ධනාත්මක ප්‍රතිඵල ලබා දීමට හේතු වී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කිරීම මෙන්ම ප්‍රාග්ධන වෙ‍ෙළ‍පෛාළේ පාර්ශවකරුවන්ට සහන සැලසීම අරමුණු කර ගනිමින් 2020 නොවැම්බර් අයවැය මගින් හඳුන්වා දුන් යෝජනා ද රජයේ ඇති කැපවීම පෙන්නුම් කරන සංඥා ලෙස හඳුන්වා දිය හැකිය.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා විසින් පත් කරන ලද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ඒකාබද්ධ කමිටුව විසින් මූලික වී 2020 සැප්තැම්බර් මාසයේ දී කොළඹ කොටස් හුවමාරුවේ මෙහෙයුම් පූර්ණ ඩිජිටල්කරණය කිරීම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වයෙහි ප්‍රබල වෙනසක් ඇති කළ අතර එය කොළඹ කොටස් හුවමාරුවේ වර්තමාන කාර්යසාධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත. ඒ අනුව ජංගම දුරකථනය හරහා අළුතින් හඳුන්වා දෙන ලද ඇප් එක භාවිතයෙන් විද්‍යුත් සී ඩී එස් ගිණුම් විවෘත කිරීමේ පහසුකම මඟින් ආයෝජකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම පහසුවෙන් කොටස් ගිණුමක් විවෘත කිරීමට හැකි විය. ආයෝජකයන්ට තම ජංගම දුරකථනය භාවිතා කරමින් CDS ගිණුමක් විවෘත කර ගණුදෙණු ආරම්භ කිරීමේ පහසුව නිසා පසුගිය මාස කිහිපය තුළ සී ඩී එස් ගිණුම් විශාල සංඛ්‍යාවක් විවෘත විය. 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ දේශීය ආයෝජකයින් විසින් විවෘත කරන ලද නව ගිණුම් සංඛ්‍යාවෙන් 92% ක්ම නව පහසුකම භාවිතා කරමින් විද්‍යුත් ආකාරයෙන් විවෘත කළ ගිණුම් වේ. ආයෝජක අයීතීන් ආරක්ෂා කරමින් සෑම දිනකම සිදු කරන ලද ගනුදෙනු පිළිබඳ විස්තරයක් ඇතුළත් කරමින් කොටස් වෙළෙඳපොළ විසින් කෙටි පණිවුඩයක් (SMS) යැවීම මගින් තම ආයෝජකයන් දැනුවත් කිරීමට පියවර ගැනීමද මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් එක් විශේෂ ලක්ෂණයකි.
ඩිජිටල්කරණයේ දෙවන අදියර මේ වසරේ මාර්තු මාසය වන විට අවසන් වනු ඇති අතර සමාගම් ගිණුම් සහ විදේශීය ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීම, ආයෝජකයින්ගේ ප්‍රධාන ගිණුම්වල යම් යම් වෙනස්කම් කිරීමට හැකියාව ලැබීම හා CDS ගිණුම් හිමියන්ට ඔවුන්ගේ ගිණුම් වෙත ඍජුවම පිවිසීමට මෙන්ම තොරතුරු බලාගැනිමට අවස්ථාව සැළසීම එහි අරමුණු වේ.
කොවිඩ් 19 වසංගතය නිසා සංචරණය සීමා කිරීම හේතුවෙන් රටේ සාමාන්‍ය ජනතාව අතර සමාජ මාධ්‍ය භාවිතය ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළෙඳපොළට අදාළ අන්තර්ගතයන් සමාජ මාධ්‍යවල සාකච්ඡා කිරීම තුළින් කොළඹ කොටස් හුවමාරුව සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ ජනතාව අතර වැඩි දැනුවත් කිරීමක් ඇති කර තිබේ. මෙයද වැඩි ආයෝජකයින් සංඛ්‍යාවක් වෙ‍ෙළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමට දායක වී තිබේ.
වසංගත තත්ත්වය හේතුවෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් දිවයින පුරා සිදුකරනු ලබන අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් භෞතිකව පැවැත්වීමට නොහැකි හෙයින්, තොරතුරු සාමාන්‍ය ජනතාව වෙත බෙදා හැරීමේදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට අමතරව සමාජ මාධ්‍යය වෙත ද යොමු වී තිබේ. ඒ අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ මැද භාගයේදී ෆේස්බුක් පිටුවක්, ට්විටර් ගිණුමක් සහ යූ ටියුබ් නාලිකාවක් සමඟ තමන්ගේම වූ සමාජ මාධ්‍ය ජාලයක් දියත් කරන ලදී. සමහර සමාජ මාධ්‍යවල දක්නට ලැබෙන අන්තර්ගතයන් තුළින් නවක ආයෝජකයින් හට නිවැරදි තොරතුරු ලබාගැනීමට බාධාවක් වී ඇති නිසා නවක ආයෝජකයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වටහාගෙන ඇත.
ආයෝජකයින්ට දැනුවත් ආයෝජන තීරණ ගැනීමට හැකි වන පරිදි සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය සමාජ මාධ්‍ය ක්‍රමවේද හරහා ආයෝජනයේ විවිධ පැති පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ආයෝජකයින් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවි සහ එම ආයතනවල අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකා භාවිතය මෙන්ම ලියාපදිංචි ආයෝජන උපදේශකයින් හරහා උපදෙස් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳවද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පෙන්වා දී ඇත. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සිය වෙබ් අඩවිය වන www.sec.gov.lk හි කොටස් තැරැව්කාර සමාගම්වලට අනුයුක්ත ලියාපදිංචි ආයෝජන උපදේශකයින්ගේ ලැයිස්තුවක් ද ඇතුළත් කර ඇත. වෙළෙඳපොළ වැරදිවලින් ඈත්වීම සහතික කිරීම සඳහා වෙළෙඳපොළ තුළ ආයෝජකයින් හැසිරිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
ප්‍රාග්ධනය රැස් කිරීමට වඩාත් සුදුසු ස්ථානය කොටස් වෙළෙඳපොළ බව අවධාරණය කරමින් වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ පියවර රාශියක් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ගෙන ඇති අතර කොළඹ කොටස් හුවමාරුව ඇතුළු වෙළෙඳපොළ සියලුම පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩ සාකච්ඡා පවත්වාගෙන යාමටද සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පියවර ගෙන ඇත. කොමිෂන් සභාව පසුගිය බදාදා පැවති රැස්වීමේදී සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා නව රාමුවක් අනුමත කිරීමටත්, එම ක්‍රියාවලියේදී කොළඹ කොටස් හුවමාරුවට පූර්ණ ස්වාධීනත්වයක් ලබා දීමටත් සහ ලැයිස්තුගත කිරීම් තවදුරටත් දිරිගැන්වීම සඳහා ලැයිස්තුගත කිරීමේ රීති ලිහිල් කිරීමට ද පියවර ගෙන ඇත. මෙම උත්සාහයන් තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අළුතින් ව්‍යාපාර ආරම්භ කළ සමාගම් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන අතර තවත් බොහෝ මුල පිරීම් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
පසුගිය වසරේ දෙසැම්බර් මස මැද භාගයේ දී කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවති රැස්වීමක දී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් කොළඹ කොටස් හුවමාරුවෙන් ඉල්ලා සිටියේ සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා ආකර්ෂණය කර ගැනීමට සහ අයවැය යෝජනා මගින් රජය විසින් ලබා දෙන දිරි දීමනා පිළිබඳ දැනුවත් කිරීමට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි. එවැනි කාලෝචිත සැලැස්මක් තිබීමේ අවශ්‍යතාවය පිළිබඳව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පැහැදිළි කර ඇති අතර එවැනි උත්සාහයක් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවටද පොරොන්දු වී තිබේ. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටී.
එමෙන්ම වෙළෙඳපොළෙහි අඛණ්ඩතාව සහතික කිරීම සහ දෛනික ගනුදෙනු සංඛ්‍යාව ඉහළයාම හමුවේ ආයෝජකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ආවේක්ෂණ සහ සුපරීක්ෂණ අංශවල හැකියාවන් සහ ධාරිතාවයන් ඉහළ නැංවීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියාමන හා අධීක්ෂණ රාමුව ශක්තිමත් කර ඇත.
කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) සමඟ මෑතකදී පැවති රැස්වීමක දී, විශේෂයෙන් කොටස් තැරැව්කාර ආයතන විසින් සිදුකරන ණය ලබාදීම සහ අනෙකුත් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කාර ආයතන ස්වයං-නියාමනය වීමේ අවශ්‍යතාව නැවත අවධාරණය කළේය. කර්මාන්තයට අදාළ ආචාරධර්ම නිසිලෙස පවත්වාගෙන යාමේ අරමුණින් තැරැව්කාර සමාගම් සඳහා සුපරීක්ෂණ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කරන ලද අතර, කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව ඒකාබද්ධව එය සකස් කර අවසන් කිරීමට මෙම රැස්වීමේදී එකඟ විය. පසුගිය බදාදා පැවති සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ කොමිෂන් සභා රැස්වීමේදී මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. තවද, කොටස් තැරැව්කාර සමාගම්වල ඉල්ලීම පරිදි, සමස්ත වෙළෙඳාම් ක්‍රියාවලිය තුළ තහනම් කර ඇති හැසිරීම් සවිස්තරාත්මකව දක්වා ඇති ආවේක්ෂණ අත්පොතක් කොළඹ කොටස් හුවමාරුව විසින් සකස් කර ඇත. කොළඹ කොටස් හුවමාරුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අත්පොත සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී.
කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් විසින් ගණුදෙනුකරුවන් සංඛ්‍යාව වැඩි වී ඇති හෙයින් වැඩි ආයෝජන උපදේශකයින් සංඛ්‍යාවක් සිටිය යුතු බව පෙන්වාදුන් අතර කෙටිකාලීන ප්‍රාග්ධන වෙළෙඳපොළ සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වාදී කඩිනමින් ආයෝජන උපදේශකයින් ලබාදීමට සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව එකඟ වී ඇත. එම පාඨමාලාව නුදුරේදීම ආරම්භ වන අතර එය මාස තුනක කාලයක් තුළ අවසන් වේ.
නව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මෙම වසරේ මුල් කාර්තුව තුළ බලාත්මක වනු ඇතැයි සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශ්වාස කරයි. විශේෂ ලක්ෂණ කිහිපයකින් සමන්විත එම පනත මගින් නියාමන රාමුව ශක්තිමත් හා ක්‍රමානුකූල එකක් බවට පත්වන අතර වෙළෙඳපොළ සංවර්ධනය, ආයෝජකයින්ට ආරක්ෂාවක් සැපයීම මෙන්ම කොටස් වෙළෙඳපොළ අසාමූහීකරණයටද එමගින් පහසුකම් සපයනු ලබයි.

Share with your friends :