27 C
Colombo
25/11/2024

රේගුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ රන්ජන් අල්ලස් චෝදනාවෙන් නිදහස්

Share with your friends :

රුපියල් ලක්ෂ 10 ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හිටපු නිවාරණ අධ්‍යක්ෂ කනකසබේ රංජන් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂිවල පරස්පරතාවයක් දක්නට තිබෙන බවය.
මෙම විත්තිකරු චෝදනාවලට හසුකර ගැනීමේ අරමුණින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් සාක්ෂි ලබාදී ඇති බව පෙනීයන්නේ යැයිද විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමේදී පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව එල්ලකර තිබූ චෝදනා 8 සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව විනිසුරුවරයා තීන්දු කළේය.
ඒ අනුව විත්තිකාර කනකසබේ රංජන් මහතා නිදොස් කොට නිදහස් කරන බව ඔහු නියෝග කළේය.
2012 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ “වෙහිකල් ලංකා පුද්ගලික සමාගමේ” හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අධි චෝදනා අටක් යටතේ කනකසබේ රංජන් මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.
එකල මෙම සිද්ධිය මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර මෙම නිලධාරියා නිසි පරිදි රාජකාරිය අකුරට ඉටු කල පුද්ගලයකු ලෙසද සෙසු රේගු නිලධාරීහු පවසති.

Share with your friends :