අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ අටුලුගම මාරාව පදිංචි පකීර් මොහොමඩ් මොහොමඩ් අමීර් නැමැති 52 හැවිරිදි පුද්ගලයකුටය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩයක් ද නියම කෙරිණි. එසේම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු රාජකාරි සඳහා කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. චෝදනා 8 ක් බණ්ඩාරගම පොලීසිය සැකකරුට විරුද්ධව ගොනු කර තිබිණි.
කොරොන ආසාදිතයෙකුව සිටි සැකකරු රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා ඉකුත් දෙසැම්බර් 2 වැනිදා මාරාව ඔහුගේ නිවස අසලට ගිය අවස්ථාවේදී එම තැනැත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී රාජකාරියට බාධා කරමින් ඔවුන් ගමන්ගත් කැබ් රථයේ දොර විවෘත කර කෙළ ගසා තිබිණි.