27 C
Colombo
24/11/2024

මොනවද මේ කෝණ මාස ?

Share with your friends :

ශුභ මුහුර්ථයක් සෑදීමේදී කෝණ ලබන කාල සීමාවන් සම්බන්ධව දැනුවත් විය යුතුමය. සමාජයේ ජීවත් වන බොහෝ දෙනා කෝණ මාසයට දක්වන්නේ දැඩි බියකි. ඔවුන් කෝණ මාස අතරිනුත් අවුරුදු කෝණ මාසය වන මීන කෝණ මාසයට හෙත් මීන රවියට දක්වන්නේ මහත් වූ බියකි. විශේෂයෙන් විවාහය, නිවාස ඉදිකිරීම, ව්‍යාපාර ආරම්භය වැනි ශුභ කටයුතු වලදී කෝණ මාස යොදා නොගනී. කෙටියෙන් කියතොත් හිරු බුධගේ සහ ගුරුගේ රාශිවල ගමන් කරන කාලය කෝණ මාසයි.

සූර්යයාගේ ගමන හෙවත් ගෝචරය හේතුවෙන් නොයෙසේ නම් ක්‍රාන්ති මාර්ගයත් නිරක්ෂ රේඛියව හෙවත් සමකයත් පදනම් කර ගනිමින් කෝණ මාස නිර්මාණය වේ. මෙහි ක්‍රාන්ති මාර්ගය යනු සූර්යා ගමන් කරන මාර්ගය යි. හිරුගේ හෙවත් රවිගේ ගමන යනුවෙන් සඳහන් කලද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ පෘථිවිය තම කක්ෂය දිගේ තමා වටා භ්‍රමණය වෙමින් හිරු වටා පරිභ්‍රමණය වීමයි. ජ්‍යොතිෂවේදී රවි හෙවත් සුර්යා මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශින්වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. කෝණ මාස මෙතරම් අශුභ වන්නේ සූර්යයාගේ අශුභ දෘෂ්ඨි පෘථිවියට එල්ල වන බැවිනි.

කෝණ මාසයකට බොහෝ විට දින දෙකකි. ඒ අනුව කෝණ මාස සතරට අශුභ වන්නේ උපරිම වශයෙන් දින 8කි. එසේ නොමැතිව මුලු කෝණ මාසයම අශුභ නොවේ. මේ බවත් මේ අශුභ කෝණ දෘෂ්ඨි යෙදෙන ස්ථානයත් නිවැරදිව සොයාගන්නා ආකාරය බහුතරයක් ජ්‍යොතිෂවේදීන් වේදිනියන් නොදනී. මේ නිසාම ශුභ මුහුර්ථ සඳහා යොදා ගත හැකි ප්‍රභල ග්‍රහ බලයක් සහිත දින පවා අතහැර දමති. මේ 90ං චතුරස්‍ර පාපී අශුභ දෘෂ්ඨි යෙදෙන ස්ථාන හෙවත් කෝණයන් යෙදෙන දින සොයා ගන්නේ රවි ග්‍රහයාගේ ග්‍රහස්ථුටය අනුවය. එහිදී රවි ග්‍රහයා 7ංහි ගමන් කරන දිනයන් මෙම අශුභ කෝණ දෘෂ්ඨි යෙදෙන සිනයන් වේ.

මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි සතර සාත්වික ගුණයෙන් යුතුය. එසේම රවිද සාත්වික ගුණයෙන් යුතුය. එනිසා රාශියේ හා ග්‍රහයාගේ ගුණ මිශ්‍ර වීමෙන් සාත්වික ගුණය වඩ වඩාත් ප්‍රකට වේ. මෙම සාත්වික ගුණය ලෞකික කටයුතු වලට කිසිසේත්ම ශුභ නැත. එහෙත් මෙය බලපාන්නේ රවි ග්‍රහයා 7ංහි ගමන් කරන විටය. මෙම කෝණ මාස ලබන දිනයන් ඒ ඒ වසරවල සූර්ය මාස සංක්‍රාන්තියට අනුව සුලු වශයෙන් වෙනස් වේ. එනම් පෘථිවි ගෝලයේ 23 1/2ං ක ඇලය හා සෘතු විපර්යාසය අනුව මෙම දිනයන් සුලු වශයෙන් වෙනස් වේ. පෘථිවි ගෝලයේ පවතින ඇලය හේතු කොටගෙන පෘථිවි සමකයට සාපේක්ෂව සූර්ය ගමන නිරීක්ෂණය කළ හැක. මෙම සූර්ය ගමන යෙදෙන්නේ කර්කටක හා මකර නිවර්තන දෙක අතරය. මෙම නිවර්තන දෙක අතරය.

මෙම නිවර්තන දෙක අතර සූර්ය ගමනේදී සෘතු විපර්යාස ඇතිවේ. මෙහිදී මාස 6ක් උතුරු අර්ධ ගෝලයටත් මාස 6ක් දකුණු අර්ධ ගෝලයටත් මාරුවෙන් මාරුවට හිරු මුදුන් වේ. එනම් හිරු සෑම වර්ෂයකම පෘථිවියේ මධ්‍ය අක්ෂාංශක රේඛාව වූ සමකය හරහා උතුරට හා දකුණට ගමන් කිරීම සිදුවේ. හිරුගේ මෙම ගමන උත්තරායනය හා දක්ෂිනායනය යි. මෙනිසා පෘථිවියේ වසරක් තුළ ඇතිවන සෘතු සයකි. එනම් ශිශිර, වසන්ත, ග්‍රීස්ම, සරත් හා හේමන්ත ලෙසය. මෙයින් ශිශිර, වසන්ත හා ග්‍රීෂ්ම සෘතු උත්තරායනයටත් වර්ෂා සරත් හා හේමන්ත සෘතු උත්තරායනයටත් වර්ෂා සරත් හා හේමන්ත සෘතු දක්ෂිනායනයටත් අයත් වේ.

තවද මෙම උත්තරායනය වසන්ත විෂුව ලෙසත් දක්ෂිනායනය සරත් විශුව ලෙසත් හැඳින්වේ. එනම් මෙම දින 2ක වසන්ත හා සරත් සෘතුවල ආරම්භක දිනයන්ය. මෙම දින දෙකෙහි පෘථිවියේ දිවා කාලය හා රාත්‍රී කාලය සමානය. එහෙත් හිරු කර්කටක නිවර්තනයට මුදුන් වන ජූනි 21 දින උතුරු උතුරු අර්ධගෝලයට දීර්ඝතම දිවා කාලය ඇතිවේ. හිරු මකර නිවර්තනයට මුදුන් වන දෙසැම්බර් 22 දින දකුණු අර්ධගෝලයට දීර්ඝතම දිවා කාලය ඇතිවන අතර උතුරු අර්ධ ගෝලයට දීර්ඝතම රාත්‍රී කාලය ඇතිවේ. ඉහත සඳහන් ලෙසට රවි ගෝචරයේදී හඳුනාගත් විශේෂ ස්ථාන 4ටම අදාල දින සතරම කෝණ මාස සතර තුළ පිහිටා ඇත.

විශේෂයෙන්ම වැදගත් නැකත් හිදී මුලු කෝණ මාසයම ලෙස කෝණ මාස සතරම අතහැර දැමීම සාමාන්‍ය සිරිතයි. ඉහතදී පැහැදිලි කළ සේම එය එසේ සිදුකිරීම වටිනා කාලය නිකරුනේ අපතේ යැවීමකි. එනිසා කෝණ හර කාල සීමාවන් මෙන් ග්‍රහ බලය සලකා හරියටම කෝණ යෙදෙන දින කිහිපය අතහැර අවශ්‍යම නම් ඊට ආසන්න ඉදිරියෙන් හා පිටුපසින් තවත් දින කීපයක් ද අතහැර කෝණ මාසයේ වුවද ඉතිරි දින සියල්ලම ශුභ මුහුර්ත නිර්මාණය සඳහා යොදාගත හැක. මීළඟට කෝණ මාසත් ඊට ආසන්න වශයෙන් අදාල වන දිනත් එම කෝණ මාස වල අශුභත්වයත් සලකා බලමු.

1. මිථුන කෝණ මාසය හෙවත් මිථුන රවිය.
මෙය ජූනි 15 වැනිදා පමණ සිට ජූලි 16 වැනිදා පමණ දක්වා සූර්යා මිථුන රාශියේ ගමන් කරන කාලයයි. මිථුන කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම ජූනි 21,22 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකතක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් සතුරු පීඩා, නෑයන් අසල්වාසීන්ගෙන් උවදුරු, ධන හානි ආදිය සිදුවේ. මෙය වගා කෝණය ලෙසද හඳුන්වයි. සාමාන්‍යයෙන් මේ කාලයේ වගා කටයුතු නොකරයි.

2. කන්‍යා කෝණ මාසය හෙවත් කන්‍යා රවිය.
මෙය සැප්තැම්බර් 17 පමණ සිට ඔක්තෝම්බර් 15 පමණ දක්වා සූර්යා කන්‍යා රාශියේ ගමන් කරන කාලයයි. කන්‍යා කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම සැප්තැම්බර් 24,25 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකැතක් සාදා ගැනීමට භාවිතා කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් භාර්යාවට විපත්, දූ දරුවන්ගේ විවාහ කඩාකප්පල් වීම් ලෙඩ දුක් නඩු හබ ආදිය සිදුවේ.

3. ධනු කෝණ මාසය හෙවත් ධනු රවිය.
මෙය සැප්තැම්බර් 16 පමණ සිට ජනවාරි 14 පමණ දක්වා සූර්යා ධනු රාශියේ ගමන් කරන කාලයයි. ධනු කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 23,24 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ මුහුර්තයක් සාදා ගැනීමට භාවිතා කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් රැකියා කටයුතු කඩාකප්පල් වීම, වැඩිහිටියනට නොයෙකුත් කරදර උවදුරු ඇතිවීම නොයෙක් අවාසනාවන්ත වීම් වලට මුහුණ පෑමට සිදුවීම, ධන හානි ආදිය සිදුවේ. විශේෂයෙන්ම මෙම කෝණය නිවාස කටයුතු සඳහා කිසිසේත්ම යොදා නොගනී.
4. මීන කෝණ මාසය හෙවත් මීන රවිය.

මෙය මාර්තු 14 පමණ සිට අප්‍රේල් 11 පමණ දක්වා සූර්යා මීන රාශියේ ගමන් කරන කාලයි. බොහෝ දෙනෙක් ‍‍මේ අවුරුදු කෝණයට දක්වන්නේ දැඩි බියකි. එහෙත් එය එසේ විය යුතු නොවේ. මීන කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම මාර්තු 22,23 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මෙනිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙු දිනයන් බලවත් ශුභ නැකතක් සාදා ගැනීමට භාවිත කළ හැක. හරියටම කෝණය යෙදෙන දිනය හෝ දෙක නැකැත් සඳහා යොදා ගැනීම තුළින් වැඩ කටයුතු ස්ථිරත්වයකට පත් නොවී කඩාකප්පල් වීම දිලිදු වීම ආදිය සිදුවේ.
ඒ ඒ කෝණ මාසයන් ගෙවී ගිය පසු උදාවන කාලයන් කෝණය හර මාස වේ. එම කාල ශුභ කටයුතු සඳහා නැකැත් සෑදීමට යොදා ගැනීම ඉතාම ශුභදායකය. කෙසේ වෙතත් පවතින ග්‍රහ බලය හොඳින් විමසා බැලිය යුතුමය. එම කෝණ හර මාසයන් මෙසේය.

1. මේෂ, වෘෂභ, කෝණ හර මාස හෙවත් මේෂ රවිය හා වෘෂභ රවිය.
2. කටක, සිංහ කෝණ හර මාස හෙවත් කටක රවිය හා සිංහ රවිය.
3. තුලා, වෘශ්චික කෝණ හර මාස හෙවත් තුලා රවිය හා වෘශ්චික රවිය.
4. මකර, කුම්භ කෝණ හර මාස හෙවත් මකර රවිය හා කුම්භ රවිය.

තවද කෝණ මාස වල කෝණ යෙදෙන දිනයන් වලදී ශුභ නැකැත් යොදා නොගන්නේ හේතු සාදක සහිතවය. එහිදී විවාහ නැකැත් නොදෙන්නේ අවාසනාවන්ත රෝගී දරුවන් බිහිවීම වලකනු සඳහාය. නිවාස නැකැත් නොදෙන්නේ ඕපපාතික ප්‍රේත, භූත ආත්ම වල ඇල්ම බැල්ම වැටීම මෙන්ම නව නිවෙස්වලට අධිගෘහිතද විය හැකි බැවිනි. බොහෝ විට එසේ වනුයේ නිසි ශාස්ත්‍රීය විමසුමකින් තොරව අප තබනා පහන්, සුවඳ දුම්, ආහාර වර්ග ආදියට ඒ පහත් ආත්ම ඉතා ප්‍රිය බැවිනි.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලේබැද්ද

Share with your friends :