27 C
Colombo
24/11/2024

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තවත් දෝෂාභියෝගයක් – සමාජ ජාලාත් අත්හිටුවයි

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලබන සඳුදා (11 දා ) දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ගෙන යයි. ඒ වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පහරදීම සඳහා ජනතාව උසිගැන්වීම හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කිරීම යන චෝදනා යටතේය. ඒ සඳහා ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකයන් තිදෙනෙකු මුලික වී සිටිති.
කෙසේ වෙතත් මධ්‍යස්ථ විචාරකයන් පවසන්නේ ජනපති පදවියෙන් ඉවත්ව යාමට දින කීපයක් පමණක් තිබියදී ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය ඇමරිකානුවන් තුල යලි බෙදීමක් ඇති කරන බවයි. නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමට ඇත්තේ ජනවාරි 20 වැනිදාය. මේ වන විට සෙනෙට් සභාව හා කොන්ග්‍රසය බයිඩන්ගේ පත්වීම ස්ථිර කර තිබේ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ඇලස්කා සෙනෙට් සභික ලීසා මුර්කොස්කි පවසන්නේ ට්‍රම්ප් වහාම ජනාධිපති තනතුරින් ඉවත්විය යුතු බවයි.
මේ අතර තමන් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙවැනි සිදුවීමක් මීට පෙර වාර්තා වුයේ 1869 දීය. මේ අතර ට්විටර් සමාජ ජාලය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සදහටම අත්හිටුවා තිබේ. මීට පෙර ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්රම් සමාජ ජාල ඔහුගේ ගිණුම් අත්හිටුවා තිබිණි. සමාජ ජාල යොදාගෙන ජනතාව ප්‍රකෝප කිරීම හා උසිගැන්වීම නැවත්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Share with your friends :